යාපනේ නොදැක
යුද්දෙ ගැන චිත්‍රපටි හදන්න බැහැ
‘කේශවරාජන් නවරත්නම්’ කලක් එල්ටීටීඊය වෙනුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. ජීවිතයේ දුෂ්කර අදියර රැසක් පසු කර පැමිණි ඔහු දැන් සිනමාව තමන්ගේම ස්වාධීන ප්‍රකාශනය සදහා යොදාගන්නා කෘතහස්ත අධ්‍යක්ෂවරයෙකි. ඔහු මේ දිනවල සිය නවතම චිත්‍රපටය වූ ‘පනෛමරකාඩු’ ප්‍රදර්ශනය සදහා සූදානම් වෙයි.
* ‘අම්මා නල්ලමා’ (අම්මා සුවෙන්ද) චිත්‍රපටිය ගිය වසරේ ඔක්තෝබර් මසදී ප්‍රදර්ශනය කෙරුණු වකවානුවේ තත්ත්වය කොහොම එකක්ද?
ඒ වෙද්දී මං සිටියේ මගේ අලුත් චිත්‍රපටය ‘පනෛමරකාඩු’ එළිදැක්වීමේ අසීරුකම දරා ගනිමින්. පරණ චිත්‍රපටි ප්‍රදර්ශනයටත් මම කැමතියි. ඒත් මගේ අලුත් චිත්‍රපටියෙන් තොර දෙයක් මේ දිනවල මට මතක් වෙන්නෙ නැහැ. මං කොළඹ එන්නෙ ඉතාම අඩුවෙන්. වැඩ එක්ක තියෙන පීඩනයත් එක්ක එහි ගොස් ඒමට ලැබීමත් ‘චේන්ජ් එකක්’ හැටියට සලකා යන්න පුළුවන්. ඒත්, එක රැයක් එහි ඉන්න තරමටවත් මං නිදහස් නෑ. ඒ තරම් මට මේ චිත්‍රපටිය වැදගත්.
* ‘පනෛමරකාඩු’ කතා සාරාංශය කුමක්ද?
යුද්ධය හා ඒ ආසන්න සිදුවීම් තමයි සමස්ත චිත්‍රපටිය පුරාම තියෙන්නෙ. යුද සමයෙන් පස්සෙ යුද වැන්දඹුවක් මුහුණ දෙන අභියෝග එහි මූලික තේමාවයි. ඉන්දීය චිත්‍රපටි නිෂ්පාදකවරයකු තමයි මුදල් යොදවන්නෙ. පහුගිය කාලෙ සිදු වුණු සමහර පොරොන්දු කඩවීම් එක්ක බොහෝ ගැටලු ඇති වුණා. ඒත්, මං වැඩේ අතෑරියේ නැහැ. ප්‍රියා, සසිකරන්, සසිධරන්, නරේන්ද්‍රන්, කොලින්, දර්ශන්, මගේ බිරිඳ කමලරාණි සමග පසුතලයේ උයා පිහා ගෙන කන බොන අතරෙයි මං චිත්‍රපටිය කළේ. තර්ජන ආවා. මගේ කණ්ඩායමට පඩි දෙන්න නොහැකි වුණා. මගේ අත කැඩුණා. ඒත් මං එල්ල ගත් අතින්ම චිත්‍රපටිය සංස්කරණය කළා. අවුරුදු දෙකකට වැඩි කාලයක් මං ඒ අභියෝග එක්ක තමයි මේ තැනට ආවෙ. තව මාසෙකින් පමණ එය එළිදක්වන්න විතරයි තියෙන්නෙ.
* දෙමළ ජනතාව වෙනුවෙන් චිත්‍රපටි කිරීමෙන් පමණද ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නෙ?
මං එදත් ආයුධවලින් සටන්කිරීම ප්‍රතික්ෂේප කළා. ඒත් මං එල්ටීටීඊය එක්ක වැඩ කළා. ඒ දෙමළ ජනතාව මුහුණ දෙන අමාරුකම් කියන්නට, ඒ අයගෙ වේදනාව කියන්නට චිත්‍රපටි කරමින්. මට තවමත් දෙමළ ජනතාව ගැන වේදනාවක් තිබෙනවා. ඔවුන්ගේ ප්‍රශ්න විසඳී නැහැ. ඒවාට උත්තර ඕනෑ. ඒ වෙනුවෙන් මං ඔවුන් සමඟ සිටිනවා. දැන් මං රටටම චිත්‍රපටි හදන්නෙ සියල්ලන්ම එය දැකිය යුතු බව බලාපොරොත්තුවයි. එල්ටීටීඊය එක්ක චිත්‍රපටි හදන්න ඉස්සරත් මං චිත්‍රපටි හැදුවා.
* ඒ අනුපිළිවෙළ කීවොත්?
ලංකා දෙමළ සිනමාව කියලා තමයි ඉස්සර කීවෙ. 1986 හා 1987දී මම පිළිවෙළින් මගේ පළමු හා දෙමළ චිත්‍රපටි කළා. ඊට පස්සෙ අපේ නිර්මාණ වෙනුවෙන් එල්ටීටීඊය උදව් කළා.
* යාපනේ සිනමාව දැන් තිබෙන්නෙ කුමන තැනකද?
යාපනය සිනමාවෙ අධ්‍යාත්මය දුර්වල වෙලා. ඉන්දීය චිත්‍රපට ව්‍යාපාරවලින් උතුර බේරා ගැනීමේ අවශ්‍යතාවක් නිර්මාණය වෙමින් තිබෙනවා. ‘ප්‍රියා’ලා වැනි යාපනේ නිළියන් ධීවර බෝට්ටු එක්ක හැප්පෙමින් ගෙදර ආර්ථිකය ගොඩ ගන්නට වෙහෙසෙනවා. විදෙස් සිනමාව යාපනේ සිනමාවට වඩා වෙනස්වීම ගැන කියන්න ඒක එක කාරණයක් විතරයි.
* යුද්දෙ ඉවර වෙලා අවුරුදු අටක්. සමාජයෙ වෙනසක් දැනෙන්නෙ නැති හින්දද කොළඹ උද්ඝෝෂණවලට සහභාගි වෙන්නෙ?
වෙනසක් තියෙනවා. ජනවාරි 08ට කලින් අපිට කැමරා අරගෙන පාරට බහින්න බැහැ. ‘ඉන්ක්වයිරි’ කෙරෙනවා. දැන් එව්වා නෑ. ඒත්, යුද්ධෙ කාලෙදි ජනතාවට ගොඩක් ප්‍රශ්න ඇති වුණා. ඒ අයගේ දරුවෝ නැති වුණා. අතුරුදහන් වුණා. ඉඩම් හමුදාව අල්ල ගත්තා. ඒවා තාම විසඳිලා නෑ. දරුවො අතුරුදහන් වුණ අම්මලා දිහා බලන්න. ඔවුන් දන්නෙ නැහැ දරුවන්ට වුණේ මොකක්ද කියලා. ඒත්, ඔවුන් ඒවාට උත්තර ඉල්ලනවා. එතකොට ඒ අයගේ ප්‍රශ්න විසඳිලා කියන්න බෑ.
* යුද්ධය ගැන ලංකාවේ හැදුණ චිත්‍රපටිවල අන්තර්ගතයට එකඟද?
අපිට වඩා හොඳට යුද්ධය ගැන ‘ෆිල්ම්ස්’ කරපු ඒවා මං දැකලා තියෙනවා. මේක මං මීට පෙරත් කියලා තියෙනවා. බොරු දේවල් කියනවා දෙමළ මිනිස්සු ගැන. උදාහරණ විදිහට ‘මාතා’ චිත්‍රපටිය. ඒකෙ වෙනවා වගේ දේවල් අනිත් පාර්ශවලින් අපිටත් වෙලා තිබෙනවා. යුද්දෙ ගැන චිත්‍රපටි කරන්න යාපනේ නොදැකපු කෙනකුට බැහැ. යාපනය නොදන්න කෙනකු යාපනය ගැන චිත්‍රපටි කිරීම මං අනුමත කරන්නේ නැහැ. සමහර චිත්‍රපටිවල මෙහෙ කිසිසේත්ම තිබෙන්න බැරි දර්ශන තිබෙනවා. මෙහෙ පරිසරය නොදැක, ඇවිත් අත නොගා මෙහෙ ගැන චිත්‍රපටි කරන්නෙ කොහොමද?
* දෙමළ දේශපාලනඥයන් ගැන අවිශ්වාසයෙන්ද ඉන්නෙ?
දෙමළ මිනිහට තාම සාධාරණය ඉටු වෙලා නෑ. යුද්ධෙ ඉවර වුණා. ඒ ගැන කතාකිරීම නෙමෙයි අපි කරන්න ඕනෙ. මිනිසුන්ගේ ප්‍රශ්නවලට උත්තර ලබාදීමයි. ඒ අය ජීවත් වීමට නම් ඔවුන්ට අවශ්‍ය දේවල් තියෙන්න ඕන. දරුවො, පවුලේ අය ගැන උත්තර ඕන. සිංහල, දෙමළ දේශපාලනඥයො බොහෝ ප්‍රශ්නවලට මැදිහත් වෙනවා. ඒ මිනිස්සු තමන්ගේ ප්‍රශ්න බොහෝ දුර අරන් ආවට පස්සෙ. දේශපාලනඥයො හිටි ගමන් මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරලා ඒ ප්‍රශ්න සමාජයෙ ඉහළ තැනකට ගෙනල්ලා ආපහු ඒවා අමතක කරනවා. අපි දෙමළ ජනතාව – දෙමළ දේශපාලනඥයින්ට ඡන්දෙ දෙනවා. ඒ ඔවුන් ජනතාව වෙනුවෙන් මොනාහරි කරයි කියලා. නමුත්, කිසිවක් වෙලා නෑ. බලයට ආවම ඔවුන් ජනතාව අමතක කරනවා නම් බලය කා අතටද දෙන්නෙ කියන ප්‍රශ්නය කියනවා. දේශපාලනඥයින් කරන්නේ හම්බ කරන එක. ඔවුන් කුඩු, එතනෝල් බිස්නස් කරලා තියෙනවා. මිනී මරලා තියෙනවා.
* ඔබ වැනි බොහෝ දෙනෙක් විදේශගත වීම තෝරාගනිද්දි, ඔබ ලංකාවෙ ඉදගෙන සිනමාව කරන්න හිතුවෙ ඇයි?
මාත් යුද්දෙට වග කිව යුත්තෙක් කියලා මගේ හැඟීමක් තිබුණා. දකුණේ තරුණ හමුදා සෙබළුන්ගේ අම්මලත් මෙහෙ අම්මලා වගේම අඬනවා. ඒ හින්දා රට යන්න හිතුණෙ නෑ.
* ‘පනිමරකාඩු’ කොහොමද එළිදක්වන්න ඉන්නෙ?
තවම ඒ ගැන ‘ප්ලෑන්’ කරලා නැහැ. ඒත්, ඒක අවසන් කිරීමේ හදිස්සිය හොඳටම තියෙනවා. මං දරුවො ගැන හිත හිත මේ වෙද්දි කාලය ගෙවන්නෙ නෑ. මගේ බිරිඳ ඒ සඳහා සහය වෙනවා. දෙමළ ජනතාවගෙ ප්‍රශ්න විසඳෙනවා දැකීමයි මගේ බලාපොරොත්තුව. මේ වෙද්දි මගේ හිතේ තියෙන්නෙ ‘පනෛමරකාඩු’ එළිදැක්වීම. අභියෝග ගණනක් දින්න මගේ – ඒ බලාපොරොත්තුව තව මාසයක් ගෙවෙද්දි මං ඉටු කර ගන්නවා.