දේශපාලන හයිය ඇති අය
කල්පිටිය බෙදාගනිති
සංචාරක ව්‍යාපාරය ආශ්‍රයෙන් ගොඩනැගී ඇති ඉහළ වටිනාකම හේතුවෙන් කල්පිටිය අර්ධද්වීපයේ ඉඩම් අයථා ලෙස අත්පත් කරගැනීම් බහුල වී තිබේ. මෙයින් වඩාත්ම අසාධාරණයට ලක් ව ඇත්තේ ඉඩම් අහිමි සාමාන්‍ය ජනයාය.
පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් කලාපයකි. වර්ධනය වන සංචාරක ව්‍යාපාරය හේතුවෙන් අර්ධද්වීපයේ ඉඩම්වල වටිනාකම බෙහෙවින් ඉහළ ගොස් ඇත. ඉඩම් සඳහා මෙම ප්‍රදේශය තුළ ඇත්තේ දැඩි තරඟකාරීත්වයකි. එම තරඟයෙන් කොන්දේසි විරහිතව ජයග්‍රහණය ලබන්නෝ නම් දේශපාලන හිතවත්කම් ඇති ව්‍යාපාරිකයෝය. මේ ඉඩම් තරඟය හේතුවෙන් අසාධාරණයට පත්ව සිටිනුයේ එම ප්‍රදේශයේ ඉඩම් අහිමි ජනතාවය.
මේ ප්‍රදේශයේ රජයේ ඉඩම් බදු පදනම මත ලබා දීම, අද වන විට එය දේශපාලන හිතවත් මත සිදු කෙරෙන දරුණු අන්දමේ ඉඩම් කොල්ලකෑමක් බවට පත්ව තිබේ.
/
බැඳිවැව පියදස්සි හිමියන් ජනතාව මුහුණ දී සිටින ඉඩම් ප්‍රශ්න සම්බන්ධයෙන් කාලයක් තිස්සේම හඬ නගන හිමි නමකි.
බලෙන් ඇල්ලීම”පහුගිය ආණ්ඩුව කාලෙ දේශපාලනඥයො ඉඩම් අක්කර පනහ හැට ඉඩම් අල්ලගෙන විකිණුවා. අරගත්ත මිනිස්සුන්ට දැන් ඒ ඉඩම් තමන්ගේ කියලා ඔප්පු කරගන්න බැරිව උසාවි යන්න සිද්ධ වෙලා. දේශපාලන හයිය තියන අය ඉඩම් කොමිසමේ ඉඩම් අරගන්නවා. දේශපාලනඥයො මැදිහත් වෙලා ඉන්න නිසා මිනිස්සු කරගන්න දෙයක් නැතිව බලන් ඉන්නවා. පළාතේ පදිංචි ඉඩම් අහිමි අයට ඉඩම් ලැබෙන්න ඕන. නමුත් කොහෙවත් ඉන්න අයට මේ ඉඩම් බුක්ති විඳින්න පුළුවන් වෙලා තියෙනවා.”
කල්පිටිය රෙඩ්බානා ප්‍රදේශය තුළ උද්ගත වූ ඉඩම් ගැටලුව මේ වන විට උසාවි ක්‍රියාවලියක් දක්වා දුර දිග ගොස් ඇත.
”එල්.ආර්.සී. ඉඩම් කියන්නෙ පෙර අයිතිකරුවන් හිටපු ඉඩම්. රජමහා විහාරයක් කොතැනක හරි තිබුණා නම් අනිවාර්යයෙන් ඒ සඳහා නින්දගම් කොටසක් අයින් කරනවා. ඒ නින්දගම් තමා මේ තියෙන්නෙ. ලේඛන විනාශ කරලා හොර ඔප්පු හදාගෙන පදිංචි වෙච්ච අය තමා වැඩිපුරම ඉන්නෙ.”
මෙම ඉඩම් අයත් වනුයේ ජාතික ඉඩම් කොමිසමටය.
/
කන්දකුලම අක්කර 50ක ඉඩමක් කූට ලේඛන සකස් කර සංචාරකයෙකුට විකිණීම සම්බන්ධයෙන් පුත්තලම විපක්‍ෂ දේශපාලනඥයෙකුගේ සොහොයුරෙකු සම්බන්ධ නඩුවක් මේ වන විටත් විභාග වෙමින් තිබේ.
රාජ්‍ය ආයතන තුළ තිබුණු පුත්තලම ඉඩම්වල මුල්ම පිඹුරුපත් විනාශ ෙකාට වංචා සහගත ලෙස ඉඩම්වලට බොරු ඔප්පු සකස් කොට තිබෙන බව මේ වන විට අනාවරණය වී ඇතැයිද පියදස්සී හිමියෝ සඳහන් කළහ.
‘සමහර අය අක්කර පහ දහය පහ විදිහට අත්පත් කරගෙන තියෙනවා. මේවාට කිසිම ප්‍රතිපත්තියක්” ක්‍රමවේදයක් නැහැ’ බල පුළුවන්කාරකම විතරයි. දිසාපති කාර්යාලයේ වැඩ කරන සමෘද්ධි නියාමකයි තවත් එක්කෙනෙක් අක්කර පහ ගානෙ ඉඩම් අල්ලලා තිබුණා. ඒ වගේ ඉඩම් අල්ලාගෙන ව්‍යාජ ඔප්පු යටතේ භුක්ති විදින ඒවා ඕන තරම් තියෙනවා.
ඔප්පුවල වටිනාකමක් නෑ”ආණ්ඩු විසින් පහු කාලයේදී ඡන්දය ලබා ගැනීමට හෝ හිත් දිනාගැනීමට මොනවාහරි කාරණයක් කියලා ඔප්පු හදලා දීලා තියෙනවා. ඒවා හදිසියකදී බැංකුවකට තියාගන්න බැහැ. ඔප්පුවක වටිනාකම නැහැ. ‘ජය භූමි’, ‘ස්වර්ණ භූමි’ කියලා තමයි ඒ ඔප්පු දෙන්නෙ. නමුත් බැංකු ආයතන ඒ ඔප්පුව පිළිගන්නෙ නැහැ. මේක නිකන් මිනිස්සුන්ට දීපු මානසික අල්ලසක් පමණයි.
/
බැඳිවැව පියදස්සි හිමියන්ගේ ප්‍රකාශය සනාථ කරමින් පුත්තලම රජයේ ඉඩමක පදිංචි වී සිටින එම්.ස්වර්ණලතා මහත්මිය සඳහන් කළේ වසර ගණනාවක් තිස්සේ මෙම ස්ථානයේ පදිංචිව සිටියද තවමත් ඉඩමේ පූර්ණ අයිතියක් ලැබී නොමැති බවයි.
”ඇත්තටම අපිට මේ ඉඩම් ලැබිලා තිබුණත් හදිසියක් වුන වෙලාවට කිසි දෙයක් කරගන්න විදිහක් නැහැ. බැංකු ණයක් ගන්න හැදුවා. නමුත් බැංකුව මේ ඔප්පුව පිළිගත්තෙ නැති නිසා අපිට බැංකු ණය ගන්න බැරි වුණා. අපේම කියලා ඉඩම් කෑල්ලක් තිබුණා නම් එහෙම වෙන්නෙ නැහැ.
ඇන්ටන් සොයිසා මහතාද රජයට අයත් ඉඩමක ඔප්පුවක් හිමි අයෙකි.
”පුත්තලම දිස්ත්‍රික්කයේ ඉඩම් නැති මිනිස්සු විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම ඉඩම්වලට හොර ඔප්පු හදාගත් අයත් ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැතිව ඒ අය බිස්නස් කරනවා. අසරණ මිනිස්සුන්ට ඉඩම් කෑල්ලක් ගන්න විදිහක් නැහැ. අපි ඉන්න ඉඩම්වල මොනවා කරන්න ගියත් ප්‍රාදේශීය ලේකම්ගේ අවසරය ලබා ගන්න ඕනෙ. මේ ආණ්ඩුවත් කිව්වා මිනිස්සුන්ට සින්නක්කර ඔප්පු දෙනවා කියලා. ඒත් තවම නැහැ. පොරොන්දු දෙනවා විතරයි.
බෙදන්න ඉඩම් නෑපසුගිය වසරේදී කල ඉඩම් අහිමි ජනතාව වෙතින් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් වී ඇති ඉඩම් ඉල්ලීම් සංඛ්‍යාව 318 ක් වීමෙන්ම ඉඩම් ප්‍රශ්නයේ බරපතළකම පැහැදිලි වේ. එහෙත් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී සඳහන් කළේ මෙම සියලු ඉඩම් ඉල්ලීම් ඇත්තටම ඉඩම් නොමැති ජනතාවගෙන් පමණක් ලැබුණු ඒවා ලෙස සැලකිය නොහැකි බවයි. තවද මිනිසුන්ට බෙදා දිය හැකි මට්ටමේ ඉඩම් ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයක් බවද ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය.
”ඉඩම් නැති අය සඳහා අපි ඉඩම් බෙදලා දෙනවා. ඉඩම් නැතිම පිරිස බොහොම අඩුයි. තව කාටහරි ඉඩමක් දෙනවා කිව්වොත් ඉඩම් ඉල්ලගෙන එන අයත් ඉන්නවා.”
ඇත්තටම ඉඩම් නැති අය වශයෙන් හඳුනාගත් අයට ඉඩම් දෙන්න කටයුතු කෙරෙනවා. හොඳම ඉඩම් නෙවෙයි, නමුත් තියෙන ඉඩම්වලින් දෙනවා. මිනිස්සුන්ට බෙදලා දෙන්න පුළුවන් මට්ටමේ ඉඩම් දැනට තියෙන්නෙ ඉතාම සුළු ප්‍රමාණයක් පමණයි. එම නිසා පදිංචිය සඳහා පර්චස් 20 වැනි කුඩා ප්‍රමාණයේ ඉඩම් ලබා දෙන්න පුළුවන් වුණත් වගා කරන්න කියලා දෙන්න ඉඩම් දැන් නැහැ.
කල්පිටිය දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දී තිබෙන රජයේ ඉඩම් දීමනා පත්‍ර සංඛ්‍යාව 2683 කි. කල්පිටිය බත්තලංගුණ්ඩුව පල්ලියවත්ත ඇතු`ඵ දූපත් 13 අයත් වන්නේ රජයටයි. ඒ අනුව දූපත්වල රජයට අයත් මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 860,3032කි. ව්‍යාපාරිකයින් සඳහා බදු වශයෙන් දීර්ඝ කාලීන බදු වශයෙන් ලබා දී තිබෙන බලපත්‍ර සංඛ්‍යාව 18ක් වන අතර අක්කර ප්‍රමාණය 398කි. ලුණු ව්‍යාපාරය සඳහා අක්කර 363ක් සඳහා බලපත්‍ර 139ක්ද ඉස්සන් වගාවට බලපත්‍ර 49ක් සඳහා අක්කර 235ක් ලබා දී ඇත.
දැනට සංචාරක මණ්ඩලය සඳහා දූපත් 13ක් ලබා දී ඇතැයි පැවසූ කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා ඉදිරි කාලය තුළදී තවත් අක්කර 200ක් සංචාරක ව්‍යාපාරයට යොදා ගැනීම සඳහා සංචාරක මණ්ඩලයට පවරන බවද සඳහන් කළේය.
වාර්ෂික සහ දීර්ඝ කාලීන වශයෙන් ක්‍රම දෙකකටව්යාපාර සඳහා බදු වශයෙන් ලබා දී තිබෙන ඉඩම් වාර්ෂික සහ දීර්ඝ කාලීන වශයෙන් ක්‍රම දෙකකට ලබා දීම සිදු වේ. වාර්ෂික බලපත්‍රයක් වසරින් වසර අලුත් කළ යුතු අතර දීර්ඝ කාලීන බලපත්‍රයක් වසර 30කට වරක් අලුත් කළ යුතු වේ. කුමන අන්දමේ බලපත්‍රයක් වුවද වසරින් වසර ප්‍රාදේශීය සභාවට මුදල් ගෙවිය යුතු වේ. ඉඩමේ තක්සේරුගත වටිනාකම සහ යොදාගනු ලබන කාර්යය අනුව ගෙවිය යුතු බදු මුදල තීරණය වේ.
එසේ වුවද මෙම ඉඩම් සඳහා සැලකිය යුතු ප්‍රමාණවත් වටිනාකමක් රජයට ලැබෙන්නේ නැත.
කල්පිටියේ පමණක් රජයේ වාර්ෂික හා දීර්ඝ කාලීන බදු ඉඩම්වලින් ලක්‍ෂ හැත්තෑ පහක පමණ වාර්ෂික ඇස්තමේන්තුගත ආදායමක් හිමි වුවද එම ඉඩම්වල වටිනාකමට සාපේක්‍ෂව ප්‍රමාණවත් නැත.
මාදැල් බලපත්‍රයකින් වසරකට අක්කරයකින් අය කරනුයේ රු. 10,000ක් පමණි. ලුණු හෝ ඉස්සො ඉඩමක් නම් වසරකට අක්කරයකින් අය කෙරෙනුයේ රු. 5,000කි. ලුණු ඉස්සන් වැනි ව්‍යාපාරවලින් උපයන ආදායම හා සසදන විට මෙය ඉතා සොච්චම් මුදලකි. එනයින් බලන කළ මෙම ඉඩම් ව්‍යාපාරිකයින්ට රන් ආකර බඳුය. එහෙයින් සමහරු දේශපාලනඥයින්ගේ සහයෝගය මත සහ ඇතැම් විට දේශපාලනඥයින් තමන්ගේ හිතවතුන්ට මෙම රජයේ ඉඩම් කෙසේ හෝ ලබා ගැනීමට ක්‍රියා කරති.
නීතිය හා සමාජ භාරය ආයතනයේ වැඩසටහන් ප්‍රධානී නීතිඥ සඳුන් තුඩුගල මහතා පවසන්නේ ලංකාවට ඉඩම් සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය බවයි.
”ඉතිහාසය පුරාම” මහා පරිමාණයෙන් ආයෝජනය කරන සමාගම් රජයේ ඉඩම් තමන්ගෙ වාසිය සඳහා පාවිච්චි කළේ. ඒකෙන් සිද්ධ වුණේ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව තවත් අසරණ වීම පමණයි.
සමහර තැන්වල මිනිස්සුන්ට රස්සා යම් ප්‍රමාණයක් ලැබුණා. නමුත් පැලවත්ත සීනි සමාගම්වල ඉඳලා කන්තලේ ඩෝල් සමාගම දක්වාම සිදු වුණේ” හැකි තරම් ආදායම් උපයලා හිටපු ගමන් මිනිස්සුන්ට පඩි ගෙවන්නෙත් නැතිව අතහැර යෑමයි. අපිට අවසානයේ හුඟක් තැන්වල ඉතිරි වෙලා තියෙන්නෙ මුඩු බිමක් පමණයි. දැනට ඉඩම් සම්බන්ධයෙන් තිබෙන ප්‍රධාන දුර්වලකම තමයි ආණ්ඩුවට ඉඩම් ප්‍රතිපත්තියක් නැතිකම. ලංකාවට ඉඩම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි.
සේයා රූ: ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න