කප්පරකට ගැටලු මවන
කප්පරතොට කසළ ව්‍යාපෘතිය
වැලිගම නගර සභාව, කුණු ප්‍රතිචක්‍රීකරණය සදහා ආරම්භ කළ ව්‍යාපෘතියක් මහජනයාට පීඩාකාරී එකක් බවට පත්ව තිබේ. එසේ සිදු වී තිබෙන්නේ ඇයි?
පුපුරා ගිය මීතොටමුල්ල කුණු කන්දේ කදුළු දැන් සිදී යමින් ඇත. ඒ අතර තවත් කදුළු වැස්සක පෙරනිමිති පෙන්වමින් ඇත්තේය. ඒ වැලිගම නගර සභාවේ කප්පරතොට කොම්පෝස්ට් ව්‍යාපෘතිය පසුබිම් කරගෙනය.
ප්‍රදේශයේ කසළ ප්‍රශ්නයට විසදුමක් සේම අමතර ආදායම් මාර්ගයක් ලබීම හා ආදර්ශ ගොවිපොළක් පවත්වාගෙන යෑම අරමුණු කොට 2006 අගෝස්තු මාසයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. නගරසභා බල ප්‍රදේශයේ කුණු එක් රැස් කර, පසුව ඒවා වෙන් කොට කොටසකින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයත්, ඉතිරි කොටස ගොඩගසා පස්දමා වැසීමත් එමගින් සිදු විය.
ව්‍යාපෘතියේ ආරම්භක ක්‍රියාකලාපය සැමගේ ප්‍රශංසාවට ලක් වන හා ආදර්ශයට ගන්නා තත්ත්වයක තිබුණි. එහි නිෂ්පාදිත කොම්පෝස්ට් පොහොරවලට හා අලංකාර ගොවිපොළේ එළවළු පලතුරුවලටද ඉහළ ඉල්ලුමක් පැවතිණි. එහෙත් ඒ ටික කලකටය. අද වන විට මෙම ව්‍යාපෘතිය, ග්‍රාම නිලධාරී වසම් තුනකට අයත් ගම්මාන නවයක ගම්වැසියන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් වන, වී ගොවිතැන නැත්තට නැති කළ හා පරිසරයට ප්‍රබල බලපෑම් ඇති කළ, සංචාරක ව්‍යාපාරයටද මරු පහරක් වන අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.
පරිසරය විනාසයිකප්පරතොට සිරි කෙත්තාරාමය, දැඩි ලෙස මේ ප්‍රශ්නයේ බලපෑමට ලක් වන පූජනීය ස්ථානයකි. එහි අධිපති කොටපොළ සුනීත හිමියෝ මෙසේ පැවසූහ.
“ අවුරුදු විසිපහක සිට මම මේ පන්සලේ වැඩ ඉන්නවා. වසර පහළොවක සිටයි මේ කුණු ප්‍රශ්නය ඇති වුණේ. 2010 වසරේ ඉදන් වැස්සට පන්සල් වත්ත වතුරෙන් පිරෙනවා. දානය වලදන්න බෑ මැස්සො පිරෙනවා. පින්කමක්වත් හරියට කරගන්න බෑ ගද ඉවසන්න බැරිතරම්. මදුරුවො වැඩි වෙලා. පන්සල් මායිමේ තියෙන ඇළේ ප්ලාස්ටික් වතුරබෝතල්, යෝගට් කෝප්ප පිරිලා. මධ්‍යම පරිසර අධිකාරියට, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, නගර සභාවට දිගින් දිගට කීවා. ඒ කාලයේ සිටි පරිසර ඇමතිට, කෘෂිකර්ම ඇමතිට, ජනාධිපතිට කීවා. කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ.”
කලකට පෙර කුණු ගොඩගැසීමෙන් අප්‍රසන්න පරිසරයක්ව පැවති කප්පරතොට සංඝානන්ද විද්‍යාලය ඉදිරිපිට අද එළවළු පළතුරු වැවූ සිත් ඇදගන්නා ගොවි බිමකි. පසෙක තුරු සෙවනේ සිසිල් පැන් හලකි. මේ ජනතාවගේ දෝෂදර්ශනයට ලක්ව ඇති කොම්පොස්ට් ව්‍යාපෘති භූමියේ ඉදිරිපස තත්ත්වයයි. ඒ පසුපස සිදු කරන ක්‍රියාදාමය ජනතාවට කිසිසේත් හිතකර නොවන්නක් බව එහි ගිය විට මනා සේ පසක් වන්නේය.
‘පුදුම දුකක්’“ මම මෙහේ පදිංචියට ඇවිත් දැන් අවුරුදු දහයක් වෙනවා. අපි එන කාලේ මෙහෙම කුණු ගොඩක් තිබුණෙ නෑ. දැන් වෙච්ච විනාශය කොයිතරම්ද කියනවා නම් දොරක් ජනේලයක් ඇරගෙන ඉන්න බෑ. පොඩි දරුවන්ට කෑම ටිකක් නිදහසේ කන්න දෙන්න බෑ. මැස්සො මදුරුවෝ පිරෙනවා. මේ ඉවසන්න බැරි ගද නිසාද මන්දන්නෙ නෑ අවුරුදු දෙකක් වයස පුංචි දුවට නිතර හතිය හැදෙනවා. කුකුල් පිහාටු, කුකුල් කටු කාක්කො ගෙනැත් ගේ ඇතුළට දානවා. අපි පුදුම දුකක් විදින්නෙ.” ප්‍රදේශයේ පදිංචි මවක වන ජී. එච්. නදීකා කුමාරි පැවසුවාය.
හැට හැවිරිදි එම්. පී.එම්. රත්නසීලී මාතාව පිටහේනවත්තට පදංචියට පැමිණ තිබෙන්නේ 2006 වසරේදීය. එම නිවසේ ඇය සමග පුතුන් දෙදෙනා දුව, බෑනා හා ඔවුනගේ කුඩා පුතු ජීවත් වෙයි. ඉන් කුඩා දරුවාට නිතර නිතර උණ ගැනීම ගැන ඔවුන් ඉන්නේ සිත් වේදනාවෙනි.
“ අපි මෙතනට එනකොට සාමාන්‍ය කුණු ගොඩක් තිබුණෙ. වෙලේ නිල්පාටට හොදට වතුර තිබුණා. කිරළ, කැරැං කඩොල් යායක් හොදට තිබුණා. එන්න එන්න කුණුගොඩ වැඩිවෙනකොට කඩොල් නැති වුණා. කෑම ටිකක් එළියේ තියාගෙන කන්න, උයාගන්න බෑ. මැස්සො මදුරුවො පිරෙනවා. ගද ඉවසන්න බෑ. කියන්න තියෙන හැම තැනටම කීවා. කිසිදම පිළිසරනක් නෑ.”
නීති විරෝධී ව්යාපෘතියක්මද්දුම වෙල්ලාලගේ සනී මහතා පවසන්නේ මෙය කිසිදු බලපත්‍රයකින් තොරව පවත්වාගෙන යන නීති විරෝධී ව්‍යාපෘතියක් බවය.
“ගේන කුණු වලින් වැඩි කොටසක් ඇළට හලලා පොඩි ප්‍රමාණයකින් තමයි කොම්පොස්ට් හදන්නෙ. දැන් ඇළ සම්පූර්ණයෙන්ම කුණුවලින් යට වෙලා. කුඹුරු අක්කර හතළිහක් විතර සම්පූර්ණයෙන් පුරන් වෙලා. පැයක් වැස්සොත් කප්පරතොට ඇළෙන් එගොඩ පැත්ත ජලයෙන් යට වෙනවා. වැසිකිළියකටවත් යන්න බෑ.
පරිසර බලපත්‍රද නොමැතිව නීතිවිරෝධී අයුරින් නගරසභාව මෙම ක්‍රියාදාමය පවත්වාගෙන යන බවට එල්ල වන චෝදනාව බරපතළ එකකි. එමෙන්ම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ‘ලෝඩ්ස්ටාර්’ කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍යද එම ස්ථානයට බැහැර කරන බව ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වුණු තවත් චෝදනාවකි. අපි ඒ ගැන මාධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුනිල් ගරුසිංහ මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසුවේය.
‘බලපත්‍රය නතර කළා’“කප්පරතොට කසල බැහැර කිරීමේ වැඩබිමේ කොටස් දෙකක් තිබෙනවා. එකක් කොම්පෝස්ට් ව්‍යාපෘතිය. අනෙක එයාල කසල බැහැරකරන තැන. කොම්පෝස්ට් ව්‍යාපෘතිය අපේ පරිසර බලපත්‍රය යටතේ දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වුණා. දැන් තියෙන තත්වය අනුව එතැන අඩුපාඩුකම් ටිකක් තිබෙනවා. ඒක නිසා අපි බලපත්‍රය අලුත් කිරීම 2016.04.20 සිට තාවකාලිකව නවත්වා තිබෙනවා. ඒ අඩුපාඩුකම් ටික සකස්කරන්න අපි ඒ අයට ලිඛිතව දැනුම් දී තිබෙනවා. අපට ඒ අය නැවත දැනුම් දී තිබෙනවා නැවත පරීක්ෂා කර බලා බලපත්‍රය ලබාදෙන ලෙස. අපට තිබෙන්නේ ඒ පිළිබද පරීක්ෂා කර බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි.
ඒ අය කසල බැහැරකරන තැනට එහෙම බැහැර කරන්න අපි අනුමැතියක් දීල නෑ. අපි ඒ අයට උපදෙස් දී තිබෙනවා අවසාන බැහැරලීම සදහා සුදුසු ක්‍රමවේදයක් මත, පරිසර හිතකාමී විදියට, සුදුසු ස්ථානයක් තොරාගෙන අවශ්‍ය කටයුතු කරන්න. ඒ සමබන්ධයෙන් ඒ අය අපිට පිළිතුරක් ලබාදී නෑ.
අපි ලෝඩ්ස්ටාර් කර්මාන්තායතනයට දී තිබෙන පරිසර බලපත්‍රයෙන් නිර්දේශ කර තිබෙන්නේ ප්‍රාදේශීය සභාවේ අනුමැතියට යටත්ව සුදුසු ක්‍රමවේදයකට අපදුව්‍ය බැහැර කරන ලෙසයි. පළාත් පාලන පනත යටතේ කසල බැහැර කිරීම් සදහා සුසුදු නිර්දේශයන් නියම කරන්නේ ප්‍රාදේශීය සභාවෙන්. ලෝඩ්ස්ටාර් එකෙන් කසල ඔය කියන තැනට ගෙනැත් දානවා කියා අපිට තවම වාර්තා වී නෑ. අපි කොම්පෝස්ට් ව්‍යාපෘතිය ගැන පසුවිපරමක් කරනවා. එහෙත් අර කසල බහැර කරන තැනට නම් අවසර දෙන්නේ නෑ.”
‘පොඩි පොඩි ප්‍රශ්න’එල්ල වන චෝදනා ගැන නගරසභාව කියන්නේ මොනවාද? වැලිගම නගර සභාවේ ලේකම් චන්ද්‍රා අබේගුණවර්ධන මහත්මිය-
“අපි 2006 සිට මේ ව්‍යාපෘතිය කරගෙන යනවා. පොඩි පොඩි උද්ඝෝෂණ ටිකක් තිබුණා ගද එනවා කියා. පරිසර අධිකාරියේ උපදෙස් අනුව ඒ තත්ත්වය නිවැරදිකරගෙන යනවා. කොම්පෝස්ට් ෆයිල් පෙරළනකොට තමයි අර උඩ ගෙවල් ටිකට පොඩි ගදක් යන්නේ. ඒගොල්ලන් මේක වහන්න කියන එක තමයි කියන්නේ. ඔය අපේ වත්ත මැදින් ඇළක් යනව නේ. ඒක ගොඩකරල කියල තමයි පැමිණිලි කරල තියෙන්නෙ. දැන් අපි ඉරිගේෂන් එකේ මැෂින් එකක් අරන් අපේ වියදමින් ඒ ඇළ සුද්දකරගෙන යනවා.”
පරිසර බලපත්‍රය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට, ලේකම්වරිය මෙසේ පැවසුවාය.
“අපි 2016 වෙනකම් පරිසර බලපත්‍රය අරගෙන තිබුණෙ. එය දීර්ඝ කිරීමට යම් කොන්දේසි ඉදිරිපත් කළා. අපි ඒවා නිවැරදි කරල තියෙන්නෙ. අවසර පත්‍රය තියෙන්නෙ කොම්පෝස්ට් ව්‍යාපෘතියට. අපි කොටවිලට දෙන්න තියෙන කුණු, ඒක තාම පටන්ගත්තෙ නැති නිසා එතැන පස්දමා වහනවා. ලෝඩ්ස්ටාර් එකෙන් ගේන්නෙ තෝරපු කුණු ටික, ඉදුල් ටික විතරයි. ඒක අපි කෙළින්ම ෆයිල් එකට ගන්නේ. ලොස්ඩ්ටාර් එකෙන් ඒකට ගෙවනවා.”
කසළ මේ වන විට රටක් ලෙස අප මුහුණ දෙන ගැටලුවලින් ප්‍රධාන එකකි. තැන තැන කුණු කදු නිර්මාණය කිරීම වෙනුවට, ඒවා ප්‍රතිචක්‍රීකරණය සදහා පියවර ගැනීම අත්‍යාවශ්‍යය. එය මහජනතාවට පීඩාවක් ඇති නොවන පරිදි නිසි ක්‍රමවේද අනුව සිදු කරන්නේ නම්, උද්ඝෝෂණ පැනනගින්නේ නැත.