Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අලුත් ව්‍යවස්ථාවක් උදෙසා වන වගකීම
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පැහැර හැරලා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම උදෙසා කැප වන බවට සෑම ප‍්‍රධාන දේශපාලන පක්ෂයක්ම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කර තිබුණද එම ක්‍රියාවලිය අනවශ්‍ය තරම් දිග්ගැස්සෙන බව ව්‍යවස්ථා විශාරදයන්ගේ අදහසයි. එසේ තිබියදී ජාතික හෙළ උරුමයේද ඉදිරි පෙළ නායකයකු වන එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන චෝදනා කරන්නේ නව ව්‍යවස්ථාවෙහි සුජාත බව අහිමි කිරීමේ වෑයමක් පවතින බවයි.

01.12.2017  |  
කොළඹ දිස්ත්‍රික්කය

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදෙන්න උත්සාහ ගන්නේ බෙදුම්වාදීන්ගේ වුවමනාවන් ඉටු කරන්න කියලා ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් චෝදනා කරනවා?
ඒකාබද්ධ විපක්ෂයේ ඒ චෝදනාව අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ අය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කියන මාතෘකාව ඔස්සේ සමාජ බෙදුම්වාදය නිර්මාණය කරනවා. එහෙම කරන්නෙ ජාතිවාදය ඇති කරලා. ඒ නිසා මේක රට බෙදන ව්‍යවස්ථාවක්ය කියලා ප‍්‍රවාදයක් ගොඩ නගනවා. මේ රටට අලූත් ව්‍යවස්ථාවක් අවශ්‍යයයි කරුණු කාරණා කීපයක් නිසා ඒ රටේ ප‍්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න, රටේ දේශපාලන ස්ථාවර බවක් ඇති කරගන්න, රටේ සියලූම ජන කොටස් සාධාරණව රාජ්‍ය බලයට හවුල් කරගන්න වගේ. මේවා ගැන දැනට තියෙන්නේ සාකච්ඡාවක්. තවම ව්‍යවස්ථාවක් හදලා නෑ. යෝජනා පමණක් තිබියදී බෙදුම්වාදී කතා ඉස්සරහට ගෙනෙන්නේ බංකොලොත් දේශපාලනඥයන්.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට අදාළව ඉදිරිපත් කළ අන්තර්කාලීන වාර්තාව පිළිබඳ විපක්ෂයේ ප‍්‍රතිචාරය ඔබට දැනෙන්නෙ කොහොමද?
මේ ක‍්‍රියාවලියට මුලදී සහභාගී වුණු ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරු මගදී ඉවත් වුණා. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට තමන්ගේ වගකීම පැහැර හැරීමක්. ඒ අය සුපුරුදු දේශපාලන සටන් පාඨ ඇද බෑවා මිසක් සක‍්‍රීයව ව්‍යවස්ථා සම්පාදන විවාදයට සහභාගී වුණේ නෑ. මට පෙනෙන්නේ මේ රටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තමන්ගේ වගකීම හරිහැටි ඉටු කරන්නෙ නෑ කියලා. මේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පාර්ලිමේන්තුව ඒකමතිකව පත් කරපු එකක්නෙ. ඔය ඒකාබද්ධ විපක්ෂය පවා ලිඛිතව මත ඉදිරිපත් කළා. ඒකත් අතුරු වාර්තාවේ තියෙනවා. ඒවා ගැන අමතක කරලා ගැලරියට කතා කරන ඝෝසාකාරී ලාබ සටන් පාඨ තියෙන චර්යාවක ඒ අය නිරත වෙලා ඉන්න එක ගැන කනගාටුයි. ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන්නෙ ඇයි? අලූත් ව්‍යවස්ථාවකින් බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ඨ වෙනවද? අනාගතයේදී මොකද වෙන්නෙ වගේ කාරණා ගැනනේ සැලකිලිමත් වෙන්න ඕන.

දැන් තියෙන්නේ සභාග ආණ්ඩුවක්. ඒ හා සම්බන්ධ පක්ෂ අතර ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට අදාළව එකගවිය හැකි කාරණා තිබෙනවද?
අපිත් පක්ෂයක් හැටියට අපේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. එකඟ වෙන දේවල් තියෙනවා. එකග නොවෙන දේවලූත් තියෙනවා. දැන් තමයි ඇත්තටම ව්‍යවස්ථා සම්පාදනය ගැන සාකච්ඡාවක් පටන් ගන්න පුලූවන් වෙන්නේ. ව්‍යවස්ථාවෙ මූලික හැඩරුව ගැන අදහසක් දැන් තියෙනවානේ. දැන් තමයි අවශ්‍යතාවයේ හැටියට හැමෝටම එකතු වෙලා අවසාන කෙටුම්පත සකස් කරන්න පුලූවන් වෙන්නෙ. ඕන කෙනෙකුට මත ඉදිරිපත් කරන්නත් පුලූවන්. අපේ අදහස තමයි රටේ නිදහස ආරක්ෂා වෙන්නත් ඕන. ස්ථාවර බව ආරක්ෂා වෙන්නත් ඕන. ජාතික ප්‍රශ්නය විසඳද්දී සෑම ජන කොටසකම සමානත්වය ආරක්ෂා වෙන්න ඕන. යල් පැන ගිය දේවල් වෙනුවට වෙනත් විකල්ප තියෙනවානේ. 78 ව්‍යවස්ථාව වෙනුවට වෙනත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන එක අපි ඉතා තදින් විශ්වාස කරනවා.

/

විග්නේෂ්වරන් වගේ නායකයන්ගේ දැඩි මතධාරී අදහස් තිබියදී සම්බන්දන්, සුමන්තිරන් වගේ මධ්‍යස්ථ මතවාදී නායකයන්ගේ ස්ථාවරය ඔබ දකින්නේ කොහොමද?
බහුවිධ අනන්‍යතාවන් තියෙන රටක බහුතර ප්‍රජාතන්ත‍්‍රවාදයෙන්ම ප‍්‍රශ්න විසඳන්න බෑ. ඒකෙන් සාධාරණත්වයක් ඉටු වෙන්නෙත් නෑ. දෙමළ ජාතිකවාදය හුරුවෙලා තියෙන්නේත් තනිකරම ප්‍රාදේශීය ස්වයං පාලනවාදය මත ප‍්‍රශ්න විසඳගන්න ඕන කියන ස්ථාවරයකටයි. අපි කියන්නෙ ඒකත් අසාර්ථක ක‍්‍රමයක් කියලා. කවුරුහරි විසඳුමකට එකඟ වුණු ගමන් තව අන්තවාදී කොටසක් කියනවා මෙන්න පාවාදීමක් කළා කියලා. පළාත් සභා හඳුන්වා දීමේ සිට වුණේ ඒක තමයි. දකුණේ හැදී වැඩුණු සිංහල ජනතාව ගැන හොඳට දන්න විග්නේෂ්වරන් මහත්තයා ඔය විදියට හැසිරෙන්නෙ දේශපාලන වාසි බලාගෙන. උතුරු නැගෙනහිර පාලම හදන ස්වර්ණමය අවස්ථාව තිබුණෙ ඔහුට. සම්බන්දන් මහත්තයා ඇතුලූ පිරිස කොයිතරම් හොඳ යෝජනාවක් අරන් ගියත් උතුරෙ ජාතිවාදය උත්සාහ ගන්නෙ ඒක පරාජය කරන්න. ප්‍රාදේශීය ස්වයං පාලන වාදයේ කෙළවරටම ගියාම තියෙන අනතුර මේක තමයි. ඒකයි අපි කියන්නෙ හුදෙක් ප්‍රාදේශීය ස්වයං පාලනයට බර නොතියා ජාතික ප්‍රශ්නෙ විසඳන්න ඕන කියලා. සමාජය කල්පනා කරන්න ඕන මධ්‍යයේ බලය බෙදා හදා ගැනීමක් ගැනත්. මේක ගැන දෙමළ සිංහල දේශපාලනඥයින් අතර විවෘත සහ අවංක සාකච්ඡාවක් ඇති වෙන්න ඕන.

ජනවාර්ගික අර්බුදය විසඳන්න පළාත් සභා හඳුන්වා දෙන කොට ඉඩම් බලතලත් ඇතුළත් කළා. ඒත් මෙතුවක් එය ක්‍රියාත්මක වුණේ නෑ. දැන් මේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය ආරම්භයේදීම ජනතාව තුළ බියක් ඇති කරලා බෙදුම්වාදය තහවුරු කරන්න ඉඩම් බලතලත් ලබා දෙනවා කියලා?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙදී අඩුපාඩුවක් හැටියට පෙන්වලා දීපු දෙයක් තමයි ඉඩම් බලතල සහ පොලිස් බලතල ලබා නොදීම. මේ යෝජනාවලියට ඇතුළත් ඒවා ලබා දීම. ඒවාට විරුද්ධ අය සම්ප්‍රදායික කතා තමයි කියන්නේ.


මේ රටේ බහුතරයක් දෙමළ ජනතාව ඉන්නෙ උතුරු නැගෙනහිර පළාත් වලට පිටින්. ඒ අයගෙ ප්‍රශ්න ප්‍රාදේශීය ස්වයං පාලනයෙන් විසඳන්න බෑ.

එතකොට ඉඩම් බලතල වගේ දෙයක් විමධ්‍යගත කිරීම වරදක්ද?
එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. මේ කියන්නේ පළාතක තියෙන රජයේ ඉඩම් ගැන නේ. මේ යෝජනාවෙන් කියන්නේ රජයේ ඉඩම් පළාත් සභාවට දෙන්න නෙවෙයි. රටේ ඉඩම් කටයුතු ඉඩම් කොමිසමකින් මෙහෙයවන්නයි කියන්නේ. හරිම තර්කය තමයි මේකෙනුත් පළාත් සභා වලට ඉඩම් බලතල දෙන්නෙ නෑ කියන එක. එහෙම නැතිව ඉඩම් බලතල දුන්නා කියලා කෑ ගහනවා. මේ තියෙන්නේ ප්‍රශ්නෙ විසඳීමේ අවංක වුවමනාවක් නෙවෙයි. මෙතැන යෝජනා කරන්නෙ ස්වාධීන ඉඩම් කොමිසමක් ගැන. එයාලා තීරණය කරනවා සාධාරණව මධ්‍යම රජයේ ඉඩම් මොනවද? පළාත් සභාවෙ ඉඩම් මොනවද කියලා. දෙපැත්තෙම අන්තවාදියො මේකට විරුද්ධයි.

නව ව්‍යවස්ථාවක් තනා ගැනීමට ඇති මේ අවස්ථාව ගිලිහුණොත් මොකද වෙන්නෙ?
78 ව්‍යවස්ථාව අපි මුල්වරට හරයාත්මකව වෙනස් කළා 19 වැනි සංශෝධනයෙන්. එතැනින් එහාට යන්න නම් ලොකු සුජාත බවක් අවශ්‍යයයි. බහුතර සම්මුතියක් අවශ්‍යයි. මට පේනවා ඒ බහුතර සම්මුතිය ඇති කරගන්න බාධා තියෙනවා කියලා. තාම තියෙන්නෙ යෝජනා විතරයි. එහෙම තියෙද්දි ව්‍යවස්ථාට තියෙන සුජාත බව අහිමි කරන්න මිත්‍යා අදහස් සමාජ ගත කිරීමේ වැඩ පිළිවෙලක් තියෙනවා. මටත් සැකයක් තියෙනවා 19 වැනි සංශෝධනය පමණද අපිට කරන්න පුලූවන් වුණු වෙනස කියලා. 78 ව්‍යවස්ථා රාමුව වෙනස් කරගන්න බැරි වුණොත් ඒක අපේ පරාජයක්. හැබැයි සටන අත හරින්න හොඳ නෑ. එහෙම වුණොත් කරන්න තියෙන්නෙ ඊළඟ මහ මැතිවරණවලදී සටන ඉදිරියට ගෙන යාම.