වෛරයක්, තරහක් නියා ගන්නෙ කොහොමද?
අපි හිටියෙ පණට පණ
සාමය සහ සහජීවනය ගැන යථාර්ථවාදී ඇසින් දකින මේ මාතාවගේ වයස අවුරුදු 106කි. එකා මත එකා යැපෙමින් වාසය කළ ඒ සහජීවනයෙන් පිරි යුගය ඇයට අමතක කරවන්නට කුරිරු යුද්ධයට ද නොහැකි වූ සේ ය.
‘’මගේ දරුමුණුබුරෝ 12ක් හමුදාවේ හිටියා. යුද්ධය නිසා මගේ පුතෙකුයි මුණුබුරෙකුයි මැරුණා. යුද්ධය මගේ පුතා විතරක් නෙමේ මුළු ලංකාවේම කොල්ලො නැති කළා. එහෙමයි කියලා සිංහල හෝ දෙමළ හෝ කිසි කෙනෙක් එක්ක මගේ වෛරයක්, තරහක්, ඊර්ෂ්‍යාවක් නැහැ’’
සාමය සහ සහජීවනය ගැන යථාර්තවාදී ඇසකින් දකින මේ සුන්දර මාතාවගේ වයස අවුරුදු 106කි. 1973 දී නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පතෙහි ඇගේ උපන්දිනය සඳහන් වන්නේ 1912/07/04 වැනිදා ලෙසයි. එහි දැක්වෙන පරිදි ඇගේ නම පුංචාගේ කළුමැණිකී ය. එහෙත් මැණිකා, මැණිකේ යන නම්වලින්ද තමා අමතන බව ඇය කියන්නේ ආඩම්බරයෙනි.
‘’මම කොයි නමටත් කැමතියි’’
කළු මැණිකේ මාතාව වාසය කරන්නේ මැදවච්චිය සන්ගිලිමහකනදරාවේ පහළ කොටසේයි. දරුවන් දස දෙනෙකු වැදූ ඇයට දරු මුණුබුරෝ 120ක් පමණ සිටිති. ආගම දහමට බරව උතුම් දිවියක් ගත කරන මේ මාතාව අවුරුදු 106ක් වද්දීත් තනි නිවසක උයා පිහා ගනිමින් සියලුම වැඩ තනිව කරගන්නේ කිසිවෙකුගේ උදව්වක් බලාපොරොත්තු නොවෙමින්ය. දරුවෝ කතා කළත් දින කිහිපයකට හැරෙන්නට නිවසින් බැහැර වන්නට ඇය අකමැතිය.
‘’මං මෙහෙම ඉන්නේ පින් දහම් කොරන නිසා තමා. හැම පෝයටම සිල් ගන්නවා. විහාරගෙවල් තනා දීලා අටපිරිකර පූජා කරලා තියෙනවා. බණ අහනවා, පිරිත් අහනවා. ඒවා තමා මට පිහිටට හිටලා තියෙන්නේ.‘
තවමත් ඇඟේ හයිය හත්තිය විතරක් නෙවෙයි හිතේ හයියත් මේ අම්මාට වුවමනාවට වඩා තිබේ. ඒ සියල්ලටම එහායින් ගිය ධාරණ ශක්තිය පුදුම එලවන සුළුයි. අවුරුදු 106ක් පිරුණත් අතීතයේ බොහෝ දේවල් වගේම රටේ තොටේ සිදුවීම්ද ඇගේ මුවින් ගලා එන්නේ කිසිදු ආයාසයකින් තොරවයි.
කිසි කෙනෙක් එක්ක මගේ වෛරයක් තරහක් නැහැ‘’පුතා මැරුණේ 1996 ත්‍රීකුණාමලයේදී. මුණුපුරා කිලිනොච්චියේ කඳවුරේ ඉදිද්දි කොටි ඇවිල්ලා පැනලා පහර දෙද්දී හමුදාවේ අනිත් අයත් එක්ක සීසීකඩ දුවලා තියෙනවා. අද වෙනකල් මුණුබුරා ගැන කිසිම ආරංචියක් නැහැ. හමුදාවට ගිය අනිත් දරුවන්ගෙන් දැන් හුඟ දෙනෙක් පැන්සොන් ගිහින්’’
අකාලයේ මිය ගිය පුතු තම මවට වැඳගෙන ඉන්න පැරණි ඡායාරුපයක් බිත්තියේ එල්ලා තිබෙනු පෙනෙයි. මේ අම්මා බොහෝ සෙයින් ආදරය කළ පුතුගේ වියෝව වාවන්නේ නැති බව පැටලෙන වචනවලින් සහ දෑසින් ගලාඑන සාරි පොටෙන් පිස දැමෙන කඳුළු පොදෙන් පැහැදිලිය. නමුත් පාසලකට ගොඩවැදී නැති අකුරක්වත් ලියන්නට කියවන්නට නොදත් තවමත් කණ අත්සන ගසන මේ අම්මා උගත් යයි කියන ජාතිවාදී පටු මානසිකත්වයෙන් යුත් බොහෝ දෙනාට වඩා මිනිස්කමක් හද රුවාගෙන සිටින්නීය.
එතකොට යුද්ධයෙන් මොකද වුණේ?
‘’මැරුවා මිසක්කා මොකදෑ උනේ. මේගොල්ලෝ ඒගොල්ලො මැරුවා, ඒගොල්ලො මේගොල්ලෝ මැරුවා. කාටවත් වැඩක් වුණේ නැහැනේ. මේ දේවල් සිද්ධ වුණේ යුද්ධය ඇති කරපු හින්දයි. එහෙම නොකර හිටියනම් ඒ මිනිස්සු අපේ ගෙවල්වලට ඇවිල්ලා මරන්නෙ නැහැ නේ. යුද්ධය ඇවිල්ලා මගේ පුතා විතරක් නෙමේ මුළු ලංකාවේම කොල්ලො නැති කළා. එහෙමයි කියලා කිසි කෙනෙක් එක්ක මගේ වෛරයක් තරහක් ඊර්ෂ්‍යාවක් නැහැ’ මං සියලු දෙනා කෙරෙහි ම මෛත්‍රියෙන් කාලය ගත කරනවා.
අපි ඒ කාලේ නාගදීපේ යද්දි යුද්දෙ තිබුණේ නැහැ. හමුදාවත් එහේ හිටියෙත් නැහැ. අපේ ගමට අල්ලපු ගමේ එක්කෙනෙක් මැදවච්චියේ ලොරියක් කතා කරගෙන තමයි එහෙ ගියේ. අපි හැට දෙනෙක් විතර අරගෙන ගියා. ගිහිල්ලා හොඳට නාගදීප වැඳ ගෙන ආවා. කිසි ප්‍රශ්නයක් නෑ’’
මේ ප්‍රශ්නෙ ඇති වුණේ කොහොමද?
මේවට අපේ අය වග කියන්න ඕනේ. හැත්තෑවේ තමයි මේ විරසකේ පටන් ගත්තෙ.
මුරපොළවල් දාගෙන බඩුවක් ගෙනියන්න දුන්නේ නැහැ. ඒ නිසා තමයි මුලින්ම ප්‍රශ්නය ඇති වුණේ. යාපනයට හාල් අරන් යන්න විදිහක් නැහැ. හාල් අරං ගියේ කොහොමද, වට්ටක්කා ගෙඩිය කපලා හාල් පුරවලා පොත්ත කෑල්ලෙන් පියන වහලා තමයි පැටෙව්වේ. එව්වත් අන්තිමේදී ඇල්ලුවා. ඒගොල්ලන්ට කන්න බොන්න දෙන්නෙ නැත්තම් ඒගොල්ලො යුද්දෙට වැටෙනවනෙ. ඒ කාලේ යාපනයට බස් යන්න දෙන්නෙත් නෑ බඩු ලොරියක් අරන් යන්න දෙන්නෙත් නැහැ. යුද්ධය එන්න එන්න වැඩි වුණා. දැන් යන්තම් නිමිලා තියෙනවා. උතුරේ අය හිතන්නේ මොනවද කියලා අපි හරියටම දන්නේ නැහැ අපි හැමෝගෙම හිත් වෙනස් මේ හැම දෙයක්ම කතා කරගන්නේ නායකයෝ නේ.’’
දෙමළ මිනිස්සු මෙහෙ හිටිය පවුල් පිටින්1945 ඩී.එස්.සේනානායක මහතාගේ ගොවි ජනපද ව්‍යාපාරයෙන් එහි පැමිණි මුල්ම පවුල් දහය අතර කළු මැණිකාගේ පවුලද වේ. ඉන් ඉඩම් අක්කර පහක් කළු මැණිකෙලාට හිමි විණි. මෑතක් වනතුරුම කළු මැණිකෙ අම්මා ජීවත් වූයේ තනිව හේන් කොටාගෙන වගා කරගෙනය.
‘’මේ ඉඩම් සේරම මං හේන් කොටලා වගා කරලයි තිබුණේ. දැන් අමාරු නිසා කරන්න බැහැ. දරුවන්ගේ කොටස් බෙදලා දීලා මගේ කොටස බද්දට දුන්නා. මෙතනින් ඇළක් යනවා කියලා මගේ ගේ අයින් කරන්න වෙනවා කියලා නිලධාරි මහත්තුරු වගයක් ඇවිල්ල කියලා ගියා. මට ඔය කොහෙන්හරි ඉන්න පොඩි තැනක් දෙන්න කියලා මං කිව්වා.’’
ඒ කාලේ මෙහෙත් දෙමළ අය හිටියද?
‘’දෙමළ මිනිස්සු මෙහෙ හිටිය පවුල් පිටින්. වව්නියාව මැදවච්චිය පාලම ගාව මෙහා පැත්තෙ තියෙන ගෙවල් පේළිය ඔක්කොම ඒ කාලේ දෙමළ මිනිස්සු හිටපු ගෙවල්. දැන් ඒවා සිංහල අය අයිති කරගෙන ඉන්නෙ. දිසාපතිතුමා කිව්වා ඒ ගොල්ලන්ගෙ ඉඩකඩම් දැන් ඉල්ලනවා ඒවා දෙන්න ඕන කියලා.’’
මෙහෙ වගේම උතුරේත් හමුදාව තියාගෙන ඉන්න ඉඩකඩම් දෙන්න ඕන කියලද හිතන්නේ?
‘’ඒගොල්ලන්ගේ ගෙවල් දොරවල් වල ඔප්පු තියෙනවනං ඒ ගොල්ලන්ට ඒවා දෙන්න එපැයි. කිය කියා ඉඳලා වැඩක් නැහැ. අනුරාධපුර එළාර රජ්ජුරුවො රජ කෙරුවෙ නැද්ද. ඒගොල්ලො කැලෑ කපලා කරලා කුඹුරු අස්වද්දලා දුක් විඳලා හදාගත්තු ඉඩම් තියෙනවා. ගෙවල්වලින් කොටසක් කැඩිලා තියනවා. හොඳට තියෙන ගෙවලුත් තියෙනවා. ඒ අයගේ ගෙවල්වල බලයට පදිංචි වෙලා ඉන්න හොඳ නැහැ නේ. අපි ආපහු ඒවා දෙන්න එපාය. අපි ඒවා ආපහු ඒගොල්ලන්ගේ උදුර ගන්න එක හොඳ නැහැ නේ. මගේ ගේ මට නැති වෙද්දී ඇති වෙන දුකම තමා අනිත් අයටත් දැනෙන්නේ’’
ඒගොල්ලොත් එක්ක පණට පණ හිටියේඒ කාලේ ගමේ හිටපු දෙමළ අයත් එක්ක තිබුණු සම්බන්ධෙ මොන වගේද?
‘’යාපනයේ දෙමළ මිනිස්සු ඒ කාලෙ ගම් ගානේ හිටියා. අපි ඔක්කොම එකට හිටියේ. අපි බඩු දුන්නෙ ඒ අයට. කරත්ත බැඳගෙන තියාගෙන ඒගොල්ලො ඒවා යාපනේ ගෙනිච්චා. සිල්ලර බඩු යාපනයෙන් ගෙනත් අපිට විකුණුවා. වී කුරහන්, තල කැපුවම අපි ඔක්කොම සල්ලිවලට දෙන්නේ ඒගොල්ලන්ට. ඒ කාලේ දැන් වගේ සල්ලි තිබුණෙ නැහැනේ. යාපනයෙන් තමා ඒ කාලේ හකුරු සීනි, ළූනු හැමදෙයක්ම ගෙනාවේ. මැදවච්චිය අහල පහල ගම් සේරම ඒගොල්ලොත් එක්ක පණට පණ හිටියේ. හිටපු හැටියේ යුද්ධය ඇති වෙලා ඒගොල්ලො ගියා.’’
කළු මැණිකේ අම්මා කියන විදිහට එදා ගම ඇතුළේ ජාති බේද තිබී නැත. එකා මත එකා යැපෙමින් සහජීවනයෙන් වාසය කළ ඔවුනට මුදල්වල වටිනාකමින් එහා ගිය සන්තුෂ්ටියක් උරුම වී තිබූ බැව් පැහැදිලිය. වැදගත්ම දේ නම් යටපත් වී තිබෙන මෙවැනි දෑ දීර්ඝ ආයුෂයක් හිමි මවකගේ මුවින් අසන්නට ලැබීම ය.