අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය ගැන
උතුර කියන කතා
අසූව දශකයේ සිට ශ්‍රී ලංකාවේ සිදුව ඇති බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් සංඛ්‍යාව හැටදහසකට ආසන්න බවත්, ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න බවත් වාර්තා වෙයි. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) මෙම පසුබිම පාදක කර ගෙන ස්ථාපිත කරන ලද ආයතනයකි. මෙම ලිපිය ඒ සම්බන්ධයෙන් උතුර මෙන් ම දකුණ ද දරන විවිධ අදහස් හා මතවාද අරබයා වන විමසුමකි.
සංහිඳියා යාන්ත්‍රණයක් සාර්ථකව ක්‍රියාත්මක වීමට නම් එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන මහජන විශ්වාසය ප්‍රමුඛ වීම අත්‍යවශ්‍ය කටයුත්තකි. අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක් (OMP) ආරම්භ කළ ද එය ගැටලුවට මුහුණ දී සිටින පාර්ශවවල විශ්වාසනියත්වය දිනා ගන්නට පූර්ණ වශයෙන් අසමත් වන්නේනම් ඉන් උදා කර ගත හැකි යහපත් ප්‍රතිඵල පිළිබඳ අපේක්ෂා කිරීම සැකසහිත ය. එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී එකගතාවය පල කළ පරිදි, 2016 අංක 14 දරණ අතුරුදන් වූවන් පිළිබඳ පනත මගින් ස්ථාපිත කරන ලද ආයතනයක් වන අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) නීතිගත කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ ද වර්තමානයේ මතු වී තිබෙන්නේ එම කාර්යාලය පිළිබඳ සැත සංකා මතුවීම ය. උතුරු නැගෙනහිර ජනතාවගෙන් කොටසක් අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිළිගන්නා අතර තවත් කොටසක් ඒ කෙරෙහි විශ්වාසය තබා නැත. දකුණ ගත් විට ද එයට පක්ෂ මෙන් ම එහි කටයුතු පිළිබඳ විවේචනාත්මක දෘෂ්ටියෙන් අදහස් දක්වන පිරිස් ද අපට මුණගැසෙයි.
ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසන පරිදි අසූව දශකයේ සිට ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් සංඛ්‍යාව හැටදහසකට ආසන්න වන අතර ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නය. 1989 සහ 1990 වසරවල වාමාංශික ව්‍යාපාරයට සම්බන්ධ බවට සැකකර අතුරුදහන් කරවන ලද සිංහල තරුණයන් ද ඊට අයත් ය. ඊට අමතවර 1983 සිට 2009 දක්වා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරුණු පුද්ගලයන්, මානව හිමිකම් ක්‍රියාධරයන්, ආණ්ඩුව විවේචනය කරන ලද පුද්ගලයන් සහ ජනමාධ්‍යවේදීන් ද ඊට ඇතුළත් වන බව මානව හිමිකම් සංවිධාන පවසති. https://www.bbc.com/sinhala/sri-lanka-44078982
උතුරු – නැඟෙනහිර පළාත්වල යුද්ධයේ දී අතුරුදහන් වූවන් සම්බන්ධ ඥාතීන් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන් සිය විරෝධය දැඩි ලෙස ප්‍රකාශයට පත්කොට තිබිණි. අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම ඔවුන් බලාපොරොත්තු වූ පරිදි නිසි සොයා බැලීමක් නොසිදුවීම පිළිබඳ මෙම පිරිස් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටි අතර පිහිටැවුණු අතුරුදහන් වූවන් ගේ කාර්යාලය වෙත තම විශ්වාසය පළ කිරීමට කිසිසේත් එකඟ වූයේ නැත.
අතුරුදහන් වූවන් ගේ කාර්යාලයට (OMP) තවත් අවස්ථාව ලබා දිය යුතුය යන මතයේ සිටින පිරිසක් ද උතුරැ – නැඟෙනහිර මෙන් ම දකුණේ ද වෙයි. ආණ්ඩුවේ ඇතැම් තීන්දු – තීරණ ද බොහෝ විට මෙම පිරිස ගේ විශ්වාසය කඩ වන අයුරින් ක්‍රියාත්මක වීම ද මේ තත්ත්වය තවත් තීව්‍ර කරන බවට ඇතැම් විද්වත්හු චෝදනා නඟති. සියලු පුද්ගලයින් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ පනත පාර්ලිමේන්තුවේදී පසුගියදා වැඩි ඡන්දයෙන් සම්මත විය. එම පනත අතීතයට බලනොපාන ලෙස ක්‍රියාත්මක වීම මේ නොපහන්තාව ඉස්මතු කර දක්වන එක් අවස්ථාවකි.
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) හා එහි ක්‍රියාකාරිත්වය ගැන උතුරේ යාපනය, කිලිනොච්චි සහ වව්නියා යන දිස්ත්‍රික්කවල ජනතාවගේ අදහස් පෙර කීවාක් මෙන් බෙදුණු තලවල පවතියි.
යාපනය දිස්ත්‍රික්කයේ අතුරුදහන් වුවන්ගේ මාපිය භාරකාර සංගමයේ සභාපතිනිය වන කමලනායගී තුරෙයිසිංහම් (72) අම්මා පවසන්නේ පෙර පැවැති කොමිසම් මෙන් ම අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිළිබඳ ද බලාපොරොත්තු තැබිය නොහැකි බව ය.
නැගෙනහිර කච්චේරි පාරේ පිහිටි සිය නිවසේ තනිවම වසන ඇයගේ තනි නොතනියට ඉන්නේ කුඩා බලු පැටවකු පමණි. 1996 අගෝස්තු මස 15 වැනිදා ඇගේ පුතා සෙන්දිල්නාදන් අතුරුදහන් වන විට ඔහුගේ වයස අවුරුදු දහනමයක් පිරුණා පමණි.
‘’පුතා ගෙදර ඉඳලා ටියුෂන් යද්දි ආමි එකේ කට්ටියක් එයාට කතා කරලා එක්කගෙන ගිහින් තියනවා. ආමි එකේ අයත් එක්ක පුතා යනවා දැකපු අය හිතලා තියෙන්නේ අඳුනන කමට කතා කරලා එක්ක යනවා කියලයි. හවස හය වෙනකනුත් පුතා ගෙදර ආවෙ නැහැ. මං ඉස්සරහ තියන ආමි කෑම්ප් එකෙන් ගිහිල්ල ඇහුවා පුතා ගැන. එයාල දන්නේ නැහැ කිව්වා. එදා ඉඳන් දන්න හැම තැනකම පුතාව හෙව්වා. යන්න පුළුවන් හැම තැනකටම ගියා. විස්තර දෙන්න කියපු හැම තැනකටම දුන්නා. ඒත් කිසිම දෙයක් උනේ නැහැ. පරණගම කොමිසමටත් විස්තර දුන්නා. අතුරුදන්වූවන්ගේ කාර්යාලය ගැනත් හිතන්න වෙන්නේ එහෙම තමයි. ඒ ගැන මට කිසි විශ්වාසයක් නැහැ.” සිය පුතු පිළිබඳ ආරංචියක් බලාපොරොත්තුවෙන් ඇය තවමත් තැවෙමින් සිටින්නී ය.
පුතුගේ අතුරුදන්වීමෙන් වසරකට පසු කමලනායගී අම්මා ගේ සැමියා මිය යන්නේ හෘදයාබාධයක් වැලඳමෙනි. අහිමි වූ පුතුත් සමග ඇයට දරුවන් පස් දෙනෙකි. ඉතිරි දරුවන් හතර දෙනාම දැන් වසන්නේ විදෙස් ගතව ය. ඇය තවමත් බලා සිටින්නේ මෙරට දී අතුරුදහන් වූ තම පුතු ආපසු එනතුරු ය.
කොකුවිල්වල වල වාසය කරන සිය දියණිය අහිමි වූ තවත් එවැනි මවකි 43 වියැති කෝනේෂ්වරන් පුෂ්පලතා. 2009දී පුදුකුඩුඉරිප්පුහි පැවති දරුණු යුද්ධය අවස්ථාවේ ඉරණපාලෙයිවලදී ආරක්ෂාව පතා හමුදාව වෙතට ඇගේ පවුලම දිව යද්දී වැදුණු ෂෙල් වෙඩි පහරකින් ඇගේ සැමියා මරුමුවට පත් වන අතර ඇය ද දරුණු ලෙස තුවාල ලබන්නී ය. එහිදී ඇගේ වැඩිමහල් දියණිය අතුරුදහන් වී තිබේ.
“දුව වව්නියාවේ කෑම්ප් එකක හිටිය කියල සමහරු කිව්වා. ඒ හැම තැනකම මං ගිහින් හෙව්වා, නමුත් කිසිම විස්තරයක් නැහැ. මාත් තුවාල වෙලා හිටපු නිසා මගේ මානසික මට්ටමත් හොඳ තත්වයක තිබුණේ නැහැ. අතුරුදහන් වූවන් ගේ කාර්යාලය (OMP) ගැන මගේ විශ්වාසයක් තියෙනවා. ඒ හරහා මගේ දුව හොයාගන්න පුළුවන් වෙයි කියල හිතනවා. ඒ කාර්යාලයෙන් මෙහාට ආව අයට මං ඔක්කොම තොරතුරු දුන්නා. අපේ ප්‍රශ්න ඒ අය දැනගන්න ඕනේ එහෙම වුණොත් තමයි අපිට උදව් කරන්න පුළුවන් වෙන්නේ. ‘අතුරුදහන් වූවන් ගේ කාර්යාලය පිළිබඳ කෝනේෂ්වරන් පුෂ්පලතා දරන්නේ එවන් ධනාත්මක අදහසකි.
පුෂ්පලතා ගේ දරුවන් දෙදෙනෙක් විවාපත්ව සිටිති. එක් දරුවෙක් උසස් පෙළ හදාරයි. අයහපත් සෞඛ්‍ය ත්ත්වයක සිටිය ද අනෙක් දරුවන් දෙදෙනා ගේ කටයුතු පැටවී ඇත්තේ ඇගේ හිස මත ය. මේ නිසා ඇය නිවසක උයන පිහන කටයුතුවල යෙදෙන අතර මසකට ඇයට ලැබෙන්නේ රුපියල් 12, 000 ක වැටුපකි. ඇගේ වෛද්‍ය වාර්තා අනුව එවන් වැඩපලවල නිරත වීමට ඇයට හැකියාවක් නැත. බෙහෙවින් අසරණ වී සිටින ඇය දියණිය සොයා ගැනීම සඳහා අතුරුදහන් වූවන් ගේ කාර්යාලයේ සහාය පතන මවකි.
‘’අතුරුදන්වූවන්ගේ කාර්යාලය ගැන අපිට විශ්වාසයක් නැහැ. අපි ඒකට විරුද්ධත් නැහැ.’’ වේලු පාක්‍යම් කියයි.
යෝගරාජා කනකරංජනී (57) උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ පවුල්වල සංවිධානයේ සභාපතිනියයි. 2009 මුල්ලිවයික්කාල් වලගුමඩම් හි දී 21 වියැති ඇගේ පුතා වන යෝගරාසා අමලන් අතුරුදන් වන විට ඔහුගේ වයස අවුරුදු 21 කි.
“ඒ ලෙවල් ඉවර කරලා පුතා කිලිනොච්චිවල පුද්ගලික ආයතනයක වැඩ කළා. එක ගෙදරකින් කෙනෙක් එල්ටීටීඊ එකට ඕනේ කියන නිසා පුතාව අරගෙන ගියා. දිස්ත්‍රික්කය පුරාම ළමයින්ව ඒ වගේ බලෙන් අරගෙන ගියා. 2009 මාර්තු මාසේ අන්තිමට මං මුල්ලිවයික්කාල්වලට ගිහින් පුතාව හම්බ වුනා. පස්සෙ පුතා ආමි එකට බාර වුණා. තවම පුතා ගැන කිසිම තොරතුරක් නැහැ. එල්ටීටීඊ එකේ අය කියලා තියෙනවා පුල්මුඩේ කෑම්ප් එකේ පුතා ඉන්නවා කියලා. පීටර් කෙනසන් ලංකාවට ආව වෙලාවෙ ගත්ත ෆොටෝ එකකත් පුතා හිටියා. ඒත් තාම පුතා ගැන තොරතුරක් දෙන්නේ නෑ.’’
කනකරන්ජනී ලා ඉල්ලන්නේ අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවක් එළිදක්වන ලෙස ය. එසේ වුවහොත් එය නිල වශයෙන් පිළිගැනීමක් වනු ඇත. අතුරුදහන් වූවන් ගේ කාර්යාලය සම්බන්ධයෙන් ඔවුන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබුණත් ආණ්ඩුව ඒ කිසිවක් ක්‍රියාත්මක නොකළ බව ඇය පවසන්නීය.
‘2006 ජූනිවල zonel task force එකෙන් ඇවිත් අතුරුදහන් වුණ අයගේ විස්තර ගත්තා. යුද්ධයෙන් පීඩාවට පත්වුණ පවුල් මුණ ගැහුණා. අතුරුදහන් වුණු අය ගැන සේරම ලේඛන අපි ඒකට බාර දුන්නා. චන්ද්‍රිකා මැතිනිය තමයි ඒක බාරව හිටියේ. නමුත් තාම මුකුත් කිව්වේ නැහැ. පරණගම කොමිසම මානව හිමිකම් කොමිසම ඇතුළු හැම තැනකටම අපේ දරුවෝ ගැන අපි විස්තර දීලා තියෙනවා. අතුරුදහන් වූවන් ගේ කාර්යාලයට දෙමළ කතාකරන තුන් දෙනෙක් ඇතුළත් කරන්න කියලා අපි ඉල්ලුවා. ඒ වගේම අතුරුදහන් වුණු අයගෙ ඥාතීන් ඒකෙ සාමාජිකයෝ කරන්න කියලත් කිව්වා. ඒත් ආණ්ඩුව ඒව සේරම නොතකා හැරලා තමයි කටයුතු කරන්නෙ‘ යි කනකරන්ජනී කියයි.
වව්නියාවේ නගරයේ පැවති අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ගේ උපවාසයට දින පන්සියය පිරුණේ පසුගිය දිනෙක ය. පාර අයිනේ අතු සෙවිලි කළ කුඩා මඩුවක වාඩි වී සිටි ඇය වේලු පාක්‍යම් (64) ය. 2009 මැයි මාසයේදී කුලී වැඩට යද්දි ඕමන්තේ දී හමුදාව ඇගේ පුතාගෙන් ප්‍රශ්න කර ඔහු රැගෙන ගොස් ඇති බව ඇය පවසයි. අද වන තෙක් පුතා පිළිබඳ හෝඩුවාවක් නැත.
‘’අතුරුදන්වූවන්ගේ කාර්යාලය ගැන අපිට විශ්වාසයක් නැහැ. අපි ඒකට විරුද්ධත් නැහැ. අපි ඉල්ලන්නේ මොකෙන් හරි කමක් නෑ අපේ දරුවෝ ගෙනල්ලා දෙන්න කියලයි. මේ ආණ්ඩුවට අපි චන්දය දුන්නේ ඒකයි.’’ වේලු පාක්‍යම් කියයි.
වේලු මාරි (70) අම්මාගේ පුතා 2009 දී අතුරුදහන් වන විට 35 වැනි වියේ පසු වී ඇත. ඔහු රැගෙන ගොස් ඇත්තේ නිවසෙහි සිටියදීය. නිවසෙහි සිටි පුතා කවුරුන්දෝ අඩගහගෙන ගිය බවක් අසල්වැසියන් ඇයට පවසා තිබේ.
‘’අපේ දරුවා ගැන අද වෙනකම් තොරතුරක් නෑ. අපේ දරුවො ගැන අපිට කතා කරලා මොනවා හරි විස්තරයක් කියනවා නං අපි කැමතියි. මේ ආණ්ඩුවට අපි ඡන්දෙ දුන්නේ අපේ දරුවො ගැන මොනවහරි දෙයක් තොරතුරක් දෙනවා කියපු නිසයි. නමුත් මෙච්චර කල් ගිහිල්ලත් ඒක වුණේ නැහැ. තවදුරටත් අපට කිසිම දෙයක් ගැන විශ්වාසයක් නැහැ.‘‘ යි වේලු මාරි අම්මා පවසයි.
‘’ අතුරුදහන් වූවන් ගේ කාර්යාලය කියන්නෙ අපරාධ විමර්ශනයක් පවත්වන ආයතනයක් නෙවෙයි.‘‘
ගෝබාලක්‍රිෂ්ණන් රාජ්කුමාර් (42) සඳහන් කළේ ජාත්‍යන්තර බලපෑම්වලින් බේරීමට පමණක් ආණ්ඩුව අතුරුදහන් වූවන් ගේ කාර්යාලය (OMP ) ආරම්භ කළ බව ය. නීතිඥ නිමල්කා ප්‍රනාන්දු හමුදා නිලධාරීන් දෙදෙනෙකු සමඟ ජිනීවා ගොස් දැන් උතුරේ ප්‍රශ්න නැතැයි ප්‍රකාශ කිරීම නිසා ඇය පිළිබඳත් කිසිදු විශ්වාසයක් තමනට නැති බව ඔහු කියයි.
වැරදි කළ අය සම්බන්ධයෙන් හා අත් අඩංගුවට ගැනුණු පුද්ගලයන් 2000ක් සම්බන්ධයෙන් වාර්තා ලබා දි එම අය සම්බන්ධයෙන් පියවර ගන්නට බලයලත් ආයතන දැනුම්වත් කරන බව පරණගම කොමිසම කිවත් එම වාර්තා සියල්ල අද රාක්කවල දූවිලි බැඳෙමින් තිබෙන බවත්, ආණ්ඩුව එම වාර්තා සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම අත්විඳින තමන්ට අතුරුදහන් වූවන් ගේ කාර්යාලය (OMP ) වෙතින් ද එයට වෙනස් යමක් සිදු වෙතැයි විශ්වාස කිරීමට පවතින සහතිකය කුමක්දැයි උතුරේ මහ ඇමති සී. වී. විග්නේශ්වරන් විමසයි.
‘’අතුරුදහන් කරන ලද අය සොයා ගැනිමේ කාර්යාලය ස්ථිර වශයෙන් පිහිටුවන ලැබු කාර්යාලයක්. එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ. එය ක්‍රියාත්මක කරන්නේ අපේ ජනතාව සිතුවිලි පිළිබඳ අවබෝධයක් ඇති පුද්ගලයෙක්. එනමුදු ඉන් පමණක් කාර්යාලය යහපත් අයුරින් පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ’’ යි පවසන මහඇමතිවරයා අතුරුදහන් කෙරුණු අය සොයා ගැනිමේ කාර්යාලයට අතුරුදහන් වු අයට සිදුවුයේ කුමක්ද යන්නවත් සොයා ගැනීමට හැකි බව ද කියයි.
‘’අතුරුදහන් වු අයට සිදුවුයේ කුමක්ද යන්න සොයා ගැනීමට අපට පුළුවන්. නමුත් මේ පිරිස අතුරුදහන් කළ අයට දඩුවම් ලබාදීමේ හැකියාවක් අතුරුදහන් වූවන් ගේ කාර්යාලයට (OMP ) නැහැ. මේ සඳහා අතුරුදහන් වූවන් ගේ කාර්යාලය (OMP ) බලතල සහිත දේහයක් ලෙසින් වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා. එසේ නොකළහොත් මේ කාර්යාලයෙන් කිසිදු ප්‍රයෝජනයක් අත්වන්නේ නැහැ’’ යි අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙන්වා දෙයි.
අතුරුදහන් වූවන් ගේ කාර්යාලය (OMP ) පිහිටවුයේ අතීතයේ සිදු වූ අතුරුදහන් කිරීම් පිළිබඳව සොයා බැලීමට පමණක් නොව අනාගතයේදී නැවත මෙවැනි දේ සිදු වීම වැළක්වීමට යැයි ඔහු කියයි.
‘’ අතුරුදහන් වූවන් ගේ කාර්යාලය (OMP ) කියන්නෙ අපරාධ විමර්ශනයක් පවත්වන ආයතනයක් නෙවෙයි. අපේ විමර්ශනවලින් අපරාධ වරදක් වෙලා තියෙනවා කියලා අනාවරණය වුණොත් පොලිසියට හෝ නීතිපතිට අදාළ තොරතුරු ලබා දෙන්න අපිට පුළුවන්. එතැන් සිට අපරාධ විමර්ශනය පවත්වන එක වෙනත් ආයතන සිදු කළ යුත්තක්‘ යැයි නීතිඥ සාලිය පීරිස් කියයි.