වෙන්වෙලා ජීවත්වෙලා වැඩක් නෑ
හැමෝටම හැමෝම ඕනෑ
මීගමු කළපුවට වැටෙන අව් රැස ජාති භේදයකින් තොරව කාගේ සමටත් ලබාදෙන්නේ තද පැහැයයි. සාගර සම්පත ඒ කාටත් දෙවියන් දුන්න ශක්තිය ය.දෙවියන් දුන් සම්පත සාමයෙන් භූත්කි විඳින මේ ‘පුංචි රෝමය‘ ඉදිවූ ආගම් නැමති සාම කුළුණු හතරෙන් එකක් හෝ සිඳ දමන්නට පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට හැකිවී නැත.
‘‘මගේ වයස අවුරුදු 43යි. මං දන්න කාලේ ඉඳන් එක අවුරුද්දක් නෑරම මඩු වන්දනාවේ ගියා. බැරි වුණේ මේ අවුරුද්දේ විතරයි. කොටි කලබල කාලේවත් මඩු යන එක නම් නැවැත්වුවේ නෑ. මෙදා වුණත් යන්න හයිය මට තිබුණා. ඒත් අපේ අම්ම මේ වන්දනාගමනට නඩේ එකතු කරන කෙනා හැටියට අනුන්ගේ ජීවිතවලට වගකියන්න බැරිනිසා නැවතුණා මිස බයට හෝ බේදයක් නිසා හෝ නැවතුණා නෙවෙයි.‘‘ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් සලිත වූ මුන්නක්කරේ පදිංචි නිලන්ති ප්‍රනාන්දු මහත්මිය කියයි.
ඇය ඒ අදහස් මුමුණන්නේ දෙමළෙනි. තමන් පරම්පරාවෙන්ම සිංහල නමුත් දෙමළෙන් කතාකරන්නේ මන්දැයි ඇය ද නොදනී. එහෙත් ඇය එක දෙයක් දකී. ඒ මීගමුවේ අයට භාෂා,ජනවර්ග හා ආගම්වල වෙනසක් අවශ්‍ය නැති බවයි. නිලන්ති ඒ බව මෙසේ කීවා ය.
‘‘ අපේ අම්මා එක්ක මං කතාකරන්නෙත් දෙමළෙන්. පවුලේ අනෙක් අය එක්කත් දෙමළෙන්. ඔයාලා දෙමළ දන්නේ නැති නිසා සිංහලෙන් මං කතා කරනවා. අපි දෙමළ අය එක්කත්, මුස්ලිම් අය එක්කත් කිසිම වෙනසක් නැතුව එකිනෙකාගේ අදහස් තේරුම් අරන් හොඳින් කතාබහ කරලා ඉන්නවා. අපේ සමගිය නැති කරන්නේ මේ රටේ පාලකයෝ. හරියටම වැරදි කාරයෝ හොයලා දඬුවම් කළා නම් අපට මේ කළකිරීම වත් නෑ. අපි කිසිසේත්ම කැමති නෑ, මේ ගම හෝ රට හැර යන්න. අපේ රට අපේ දරුවන්ට අවශ්‍යයි. ප්‍රශ්නයට පිළිතුර පලායාම නොවෙයි. ඒ නිසා ජාතීන් අතර භේද ඇති වන වැඩ නවත්වන්න අපි හැමෝම පෙළගැහෙන්ඩ කියන එකයි අපි දරන මතය. වෙන්වෙලා ජීවත්වෙලා වැඩක් නෑ. අපේ රටේ හැමෝම එකට ඉන්නයි ඕනෑ. සැක ඇතිවෙන දේවල් ඇති නොවෙන්න වැඩ කෙරෙන්නයි ඕනෑ‘‘ ඒ නිලන්තිගේ සාමයේ දැක්ම ය.
මුන්නක්කරේ විද්‍යාලයේ තුනේ පංතියට පමණක් ගොස් කළපුවෙන් වටවුණු මේ පුංචි සමාජයේ දී විශ්ව විද්‍යාලයට නොදෙවෙනි දැනුමක් ලැබ ඇති බව හැඟෙන ඇය දරුවන් තිදෙනකු රකින ධීවර කතකි.
මුන්නක්කරෙන් නැඟෙන්නේ මීගමුවේ සමස්ත හඬ ය. නිලන්ති නඟන්නේ මුන්නක්කරේ ගමේම පොදු මත ය වේ. මීගමුව ශ්‍රී විමුක්ති ධීවර සමිතිය හරහා මේ බොහෝ දෙනා හමුවීමට හැකි විය.
‘‘ මේ බෝම්බ ප්‍රහාරයට විවිධ තරා තිරමේ අය අහුවෙලා තිබුණා. තුවාල ලබා බේරුණ අයගේ ප්‍රශ්න එකින් එකට වෙනස්. සමහර අයට වැඩිදුර ශල්‍යකර්ම ප්‍රතිකාර ආදිය සඳහා මුදල් අවශ්‍යයි.ඒක පොදුවේ මෙච්චරක් එක පවුලකට රජයෙන් ගෙවනවා කියලා ගණන් හදන්න බැරි දෙයක්. ඒ වගේමයි සමහර අයට උදාවෙලා තිබෙන්නේ සාමාජීය ප්‍රශ්න. පවුලේ හැමෝම මිය ගිහින් ගෙවල් දොරවල්වල ඉතුරු දරුවන්ට තනියෙන් ඉන්න ඉතිරි හින්දා වසා දමාපු ගෙවල් විශාල ගණනක් කටුවාපිටියේ තියෙනවා. අපි සූදානම් නෑ මුස්ලිම් වෙළඳසල් වර්ජනය කරලා මේ ප්‍රශ්නය විසඳන්න. මිනිස්සු හැමෝ ම එකට ඉන්න ඕනෑ. හැමෝටම හැමෝම ඕනෑ.‘‘
එසේ කියන්නිය ත්‍රිමාලියා ප්‍රනාන්දු ය. ඇගේසැමියා ව්‍යාපාරිකයෙකි.පාසල් යන දරුවන් දෙදෙනකුගේ මවක් වන ඇය ද පවසන්නේ පාස්කු ප්‍රහාරයෙන් පළුදු වූ සිංහල මුස්ලිම් හොඳ හිත යළි ගොඩ නැගීමට සමාජ ක්‍රියාකාරීන් එක්විය යුතු බව ය.මිනිසුන්ගේ හොඳහිත බිඳෙන ප්‍රකාශ මෙන්ම ඒවා පළ කරන මාධ්‍යන් ද ඇය හෙළාදකි.
යුද සමයේදි පවා දරුවන් පාසල් නොයවා නොසිටි තමන්ට මේ බෝම්බ ප්‍රහාරයෙන්පසු දරුවන් පාසල් නොයවන තැනට භීතියක් ඇති කළේ අනවශ්‍ය ප්‍රචාර හා එම ප්‍රචාර නොසලකාහැරිය හැකි විශ්වාසය ගොඩ නොනැඟීම නිසා බව ශිරානි ප්‍රනාන්දු මහත්මිය කියයි. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කර ජනතාවට එකිනෙකා විශ්වාස කළ හැකි පරිසරයක් ගොඩ නඟාදෙන ලෙස ඇය ද ඉල්ලයි.
අපේ ඉස්කෝලෙත් හැම ජාතියෙම ළමයි ඉන්නවා. අපට ඒ කවුරුවත් ගැන විශේෂයක් නෑ.ටික දවසක් බයෙන් ඉස්කෝලේ ගියේ.දැන් එහෙම එකක් නෑ. එක එක කටකතා තියෙන දවස්වල ඉස්කෝලේ යන්න බෑ‘‘යි කියූ ඇය 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන නටාෂා සෙව්වන්දී ය.
මීගමු කළපුව වටේ ගම්වල පදිංචි මේරි නිශාන්ති ,මාලිනි ප්‍රනාන්දු, මාරියා පියරිනා හා ත්‍රිමාලියා ප්‍රනාන්දු ආදී සෑම කාන්තාවකගේම හඬ වූයේ වෙළඳාමෙන් හා වෙනත් සම්බන්ධතාවලින් එකට බැඳුණු මීගමුවේ සිංහල -දෙමළ-මුස්ලිම් සමගිය පටු අදහස්වලින් බිඳ නොදමන ලෙස තමන් පාලකයින්ගෙන් ඉල්ලා සිටින බව ය. ඔවුන්ගේ ධීවර සමිතියේ කළමනාකාරවරයා වන වින්සන්ට් ප්‍රනාන්දු පවසන්නේ මීගමුවට ආවේණික සර්ව ආගමික සාමූහික වටපිටාව බෝම්බයකින් කඩ බිඳ දැමිය හැකි දෙයක් නොවුව ද පශ්චාත් ප්‍රහාර සමයේ දී ගතයුතු නිසි පියවර නොගැනීම නිසා හැම සිතකම කහටත් ඇතිවී තිබෙන බවකි.
‘‘ මිනිසුන්ට ලැබිය යුතු නිදහස තවමත් සාර්ථකව සම්පූර්ණ වී නෑ. මේකට හේතුව ඇති වූ ප්‍රශ්නයට සෘජු උත්තර ලබා නොදීම. මාධ්‍ය හරහා ගෙන ගිය ප්‍රචාර හා එහි දීපෙන්නුම් කළ සැක සහිත තත්ත්වයන්ට හරි හැටි විසඳුම් නොදී ප්‍රශ්න යට ගසා තිබීම මෙහි බරපතලම තත්ත්වයයි‘‘. යනුවෙන් වින්සන්ට් පෙන්වා දෙයි.
ජාතික ධීවර සහයෝගීතාවයේ කැඳවුම්කරු හර්මන් කුමාර, විවිධ සමාජ කොටස් නියෝජනය කරන්නෙකි. ඔහු දක්වන අදහස නම් පාස්කු ප්‍රහාරයෙන් පසු ක්ෂණික කෝපය නිසා ඇතිවන්නට තිබූ මහා විනාශය වළක්වාගැනිමට අගරදගුරුතුමන් දැක්වූ ප්‍රතිචාරයේ වටිනාකම් පසුව ඉදිරියට ගෙන නොගිය හේතුවෙන් සමාජයේ වර්තමාන කැළඹීම පවතින බවයි.
‘‘ මතුපිටින් සාමය පවතිනවා කියලා පෙන්වන්න උත්සාහ කළාට යට තිබෙන්නේ මහා ගින්නක්.ආගමික නායකයින්ට කරන්න මහා කාර්ය භාරයක් තිබුණා.ඒ දේ ඉටු කළේ නෑ කියන එකයි මගේ විශ්වාසය. මේ සියල්ල දැන් දේශපාලන දිශාවන්ට යොමු වෙලා තිබෙන්නේ.රජයේ වගකීම ඉටුවෙලානෑ. මේ වගේ නගරයක් ගත්විට ළමා කාලයේ එකට කෙළි සෙල්ලම් කළ සිංහල මුස්ලිම් අය ඉන්නේ. මහාබැඳීමක්. මේ නිසා සිංහල බහුතර සමාජයටත් වගකිමක් තිබෙනවා මුස්ලිම්වරුන් හුදෙකලා නොකර විශ්වාසය දිනාගන්නට‘‘යි හර්මන් කී ය. ඇතැම් අයගේ වෛරී ප්‍රකාශ නිසා මුස්ලිම් වෙළඳ සල්වලට සිංහල ජනයා නොගොස් විසඳුමක් සෙවීම අන්තවාදයෙන් අන්තවාදයට පිළිතුරක් සෙවීම නම් බිහිසුණු ගමන බව ඔහු අදහස් කරයි.
මීගමුව ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන මවුලවි ඒ.එම් .සල්මාන්, අබ්දුල් රහුමාන් මවුලවි තුමා හා හොහොමඩ් අර්ශාද් මවුලවි තුමා සාමූහිකත්වය සම්බන්ධයෙන් දක්වන අදහස පෙර කී අයගේ අදහස් සමඟ හොඳින් සමපාතවීම ජනතාවගේ පැත්තෙන් මහා අගයකි.
සිංහල පාසලක අධ්‍යාපනය ලැබූවකු වන අබ්දුල් රහුමාන් මවුලවි තුමා පවසන්නේ මිගමුවේ සිටින ප්‍රධාන ජනවර්ග තුන ආවාහ විවාහ හා වෙනත් ගනුදෙනුවලිත් තරයේ බැඳුණු වෙන්කළ නොහැකි පිරිසක් බවකි. මේ සිදු වූ අහඹු සිද්ධිය මුස්ලිම් සමාජය කිසිසේත්ම අනුමත නොකරන බවත් කුඩා සිද්ධින්ගෙන් මතු වූ ප්‍රචාරයන් ජනතාව දුරස් කළ බවත් පෙන්වා දෙයි.
‘‘දේශපාලනය අපිව බෙදුවා. මෙ දේශපාලනය නිසා සමාජ දේහය පුරාම මේ ප්‍රශ්න ඔඩු දුවලා ඉවරයි. මේ තත්ත්වයට තව දුරටත් ඉස්සරහට යන්න දෙන්න බෑ. මේ තත්ත්වය වෙනස්කරන්න අවබෝධයක් ඇති සමාජ ක්‍රියාකාරීන් ඒකරාශි විය යුතුයි. අසූව දශකයේ අපි එකට සෙල්ලම් කරපු අය. අපි අතර පුදුමාකාර සහජීවනයක් තිබෙනවා. ඒක යළි එකුතු කරන්න බැරි දේකුත් නෙවෙයි. අපි වෙන්වුණාම නෙවෙයි එකතුවුණාමයි සමාජය ලස්සනයි. මේ සඳහා අධ්‍යාපන ක්‍රමය, රටේ නීතිය, දේශපාලන සංස්කෘතිය හා පාලන තන්ත්‍රයන්ගේ මහා වෙනසක් කළයුතුව තිබෙනවා. වහා රට එතැනට ගන්නට අපි සියලු දෙනා කැපවිය යුතුයි. නැනැතිනම් අපේ දරුවන්ට රටක් නැතිවෙනවා ‘‘ යැයි මවුලවි ඒ.එම්. සල්මාන් කීවේ ය.