Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

පාතිමාලා ගේ අයීත් රකින්න
සටන් කරන රේණුකා

රටක දැයේ දූදරුවන් යනු රටේ ජීවනාලියයි.එවන් දරු පරපුරකට ශිල්ප ශාස්ත්‍රය ලබාදෙන ගුරුපරපුර සුරැකීම ජාතික වගකීමකි.එවන් වූ ගුරු පරපුරක අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරන කන්ද උඩරට අග නගරය මහනුවර අන්තර් ආගමික කමිටුවේ ලේකම් රේණුකා මලියගොඩ විශ්‍රාමික ගුරුමාතාව වර්තමානයේදී මුස්ලිම් ජාතික ගුරුමාතාවන්ගේ සංස්කෘතිය රැකගැනීම වෙනුවෙන් හඬ නඟන්නියකි.

10.12.2019  |  
මහනුවර දිස්ත්‍රික්කය

ඔබ ගැන යම් හැදින්වීමක් කළොත්?

මා වෘත්තියෙන් ගුරුවරියක්. වසර විසිඅටක් ගුරුවෘත්තියේ සේවය කරල මට විශ්‍රාම යන්න අවුරුදු දොළහක් තියෙද්දී  සේවයෙන් විශ්‍රාම ගත්තා. හේතුව මා විවිධ සිවිල් සංවිධාන රැසක කටයුතු කරනවා. ලංකා ගුරු සංගමයේ මහනුවර දිස්ත්‍රික් හිටපු ලේකම් වගේම දැනටත් ක්‍රියාකාරී සාමාජිකාවක්. සමාජයේ යහපත වගේම ගුරුසේවයේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන්න සිදුවෙන නිසා සේවයෙන් විශ්‍රාම ගත්ත.

ඔබ මෙවර මුස්ලිම් කාන්තාවන්ගේ සංස්කෘතික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා ඇයි ඒ?

මහනුවර කියන්නේ බහු ආගමික බහු වාර්ගික නගරයක් .මේ නගරය දීර්ඝ කාලෙක ඉදං සාමය සහජීවනය තිබුනු නගරයක්. අවාසනාවකට පාස්කු ඉරිදා සිදුවුණු අන්තවාදී ප්‍රහාරයෙන් පසුව මහනුවර ජනතාව අතර තිබුණු ජාතීන් අතර සංහිදියාවට යම් ප්‍රමාණයක තර්ජනයක් එල්ලවුණා. මුස්ලිම් කාන්තාවන් මෙහිදි විශාල පීඩාවකට පත් වුණා. පුරුෂ ආදිපත්‍යය මුල්වුණු සමාජයක මුස්ලිම් කාන්තාව ඔවුන්ගේ සමාජය තුළත් ඉන් පරිබාහිරවත් විවිධ ගැටලුවලට මුහුණ දෙනවා. ඔවුන්ගේ ගැටලු විවෘතව කතාකරන්න කිසිම කැමැත්තක් නැහැ. මේ කාන්තාවන්,විශේෂයෙන්ම වෘත්තිකයන් ආවේනික වූ සංස්කෘතියත් රැකගෙන වෙනස්වීමක් බලාපොරොත්තු වෙනවා. අවාසනාවකට ඔවුන්ගේම සමාජයෙන් වගේම පරිබාහිර සමාජයෙන් ද මිට කිසිම අත්වැලක් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. කිසිම කතිකාවතක් සිදුවන්නේත් නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ මේ පිළිබඳ සමාජ කතිකාවතක් ඇති වුණා. ජාතික ආරක්ෂාව දඩමීමා කරගෙන මහනුවර එක්තරා බාලිකා පාසලක මුස්ලිම් ගුරුවරියන් හත්දෙනෙකුට සිය සංස්කෘතිය නිසා රැකියාව පවා එපාකරවන තත්වයේ ගැටලු රැසකට මුහුණ දෙන්න සිදු වුනා. මේ ගුරුවරියන් හත්දෙනාට විරුද්ධව කටයුතු කරන්න ඒ විදුහලේ පරිපාලනය සියලු නීතිරීති උල්ලංඝණය කළා. ඒ වෙලාවෙ තමයි මා තීරණය කළේ මේ අයට සාධාරණත්වය ඉෂ්ඨ කරල දෙන්න ඒ වෙනුවෙන් සටන් කරන්න.

අබාය සහ හිජාබය මුල්වෙලා තමයි මේ ගැටලුව නිර්මාණය වුණේ. මේ සිද්ධියට මුල්වුණු බාලිකා පාසලේ මා 2005 සේවයට ගියා. එදා සිට මේ සිද්ධිය වෙනකම් මේ අසාධාරණයට ලක්වුණු මුස්ලිම් ගුරුවරියන්ගේ ඇඳුම වුණේ අබායයි හිජාබයයි. හැබැයි මේ අය කවදාවත් කලුපාට ඇන්දෙ නැහැ ලා පාට තමයි ඇන්දෙ. ඉතාම ලස්සනට ඇඳපැළඳගෙන එනවා. පාස්කු ඉරිදා සිද්ධියත් සමඟ මේ බාලිකා පාසලේ පරිපාලනය වගේම මාපියන් පිරිසක් එකතුවෙලා තමයි මේ ඇඳුම මුල්කරගෙන මේ ගුරුවරියන් හත්දෙනා සමඟ ගැටුම් ඇතිකර ගත්තේ. නීති අණපනත් චක්‍රලේඛ උල්ලංඝණය කරමින් ඔවුන්ට බලකරනවා සාරියකින් සැරසිලා පාසලට එන්න කියල. හදිසි නීතිය යටතේ රජයේ තීරණය වුණේ බුර්කාව තහනම් කිරීම පමණයි. කවදාවත් බුර්කාව භාවිත නොකඵ මේ ගුරුවරියන්ට සිදුවුණේ බලවත් අසාධාරණයක්. ඔවුන්ට පාසලට එන්න තහනම් වුණා. බලධාරීන් මේ අය වෙනත් පාසලකට ඔවුන්ගේ කැමැත්තකින් තොරව අනුයුක්ත කළා.

ජාතික සමගිය වෙනුවෙන් වන ගුරු වෘත්තියේ කාර්යභාරය ඔබ දකින්නේ කවර ආකාරයෙන්ද?

ජාතික සමගිය ඇතිකරන්න, ඒ සඳහා නිරවුල් මනසක් සහිත පිරිසක් බිහිකරන්න පුළුවන් වටිනාම ස්ථානයක් තමයි පාසල කියන්නේ. ගුරුවරුන් කියන්නේ පාසල් දරුවන්ගේ ශාස්තෘන් වහන්සේලා. ඒ අතින් බලනකොට මේ ගැටුම්සහගත තත්වයට මුල්වුණු බාලිකා පාසල පුංචි ලංකාවක් වගේ. මා එහෙම කියන්නේ මේ පාසලේ සියලුම ආගම්වලට අයිති සිසුවියන් ඉගෙන ගන්නවා. මොවුන් අතර හොද මිත්‍රත්වයක් පවතිනවා. විෂයභාර කටයුතුවලදී වගේම බාහිර කටයුතුවලදීත් ඉතාම සමගි සම්පන්නව කටයුතු කළේ. මං හිතන්නේ ඔවුන් කිසිම ආකාරයකින් දන්නේ නැහැ ජාතිවාදය කියන්නේ කුමක්ද කියල. සත්‍ය වශයෙන්ම පාසලක සිදුවිය යුත්තේ එයයි. අදවෙනකොට අනර්ථකාරී පිරිසක් මේ පාසලට ජාතිවාදී විෂබීජ එන්නත්කරල තියෙන්නෙ. පාසලේ ශාස්තෘන් වහන්සේලාගේ ගෞරවය බිඳ වැටිල. මේ තත්ත්වය පාසැලක් වැනි ස්ථානයකට ඉතාම වැරදි පූර්වාදර්ශයක්.

/ඔබට මුස්ලිම් ජන සමාජයෙන් ආරාධනාවක් ලැබුණද සිදුවි ඇති අනර්ථකාරී තත්වයට විසඳුමක් ලබාදිම සදහා ඉදිරිපත්වන ලෙස?

ඔව්. මා ලංකා ගුරු සංගමයේ දැනටත් ක්‍රියාකාරී සාමාජිකාවක් විදිහට මෙවැනි ගුරු ගැටලු සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් ඉන්නේ. ගුරු සංගමයට වැදගත් නැහැ ජාතිය ආගම පිළිබඳ. සමස්ත ගුරුවෘත්තියේ අයිතිවාසිකම් වෙනුවෙන් තමයි අපි කටයුතු කරන්නේ. ඉතිහාසයේ සඳහන් වෙනවා වෘත්තිය අරගල සදහා මුස්ලිම් ජනනායකයින් කටයුතු කළ ආකාරය. වර්තමානයේදී එවැනි නායකයින් බිහිවෙන ප්‍රමාණය ඉතාම අල්පයි. ඊට හේතුවක් ලෙස මා දකින්නේ දශක තුනකට ආසන්න කාලයක් පැවති යුද සමයේදී එක් ජාතික පාර්ශවයක් මූලික කොට සිදුවුණු අරගලයකදී අනෙක් වූ ජාතික අරගල සඳහා ප්‍රසිද්ධියක් නොලැබීමයි.

 අගතියට පත් මුස්ලිම් ගුරුතුමියන් හත්දෙනාගේ වර්තමාන තත්වය කෙබදුද?

   මේ සිදුවීමත් සමඟ අදාළ ගුරුවරියන් හත්දෙනා වෙනත් මුස්ලිම් පාසල්වලට අනුයුක්ත කරන්න බලධාරීන් කටයුතු කළා. අපි දකින්නේ එය සම්පූර්ණයෙන්ම වාර්ගිකත්වය මුල් කර ගත් ක්‍රියාවක් ලෙසයි. මිශ්‍ර ජාති ආගම් සහිත පාසලක සිට තනි වාර්ගිකත්වයක් නියෝජනය කරන පාසලකට යොමු කිරිම සම්පූර්ණයෙන්ම වාර්ගිකත්වය මුල් කර ගත් ක්‍රියාවක්.  

මේ ගුරුවරියන්ට සාධාරණය ඉෂ්ඨකරන්න ඔබ ප්‍රමුඛ මහනුවර අන්තර් ආගමික කමිටුව ගෙන ඇති පියවර කවරේද ?

අපි මුලින්ම සියලුම අධ්‍යාපන බලධාරින් දැනුම්වත් කළා. දේශපාලන අධිකාරිය ඇතුළු සියලුම ආරක්ෂක අංශ දැනුම්වත් කළා. නමුත් ප්‍රතිපලයක් නැතිතැන අපට සිදු වුණා නීතියේ පිහිට පතන්න. මානව හිමිකම් උල්ලංඝණය කිරීම යටතේ මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට හා අදාළ පාසලේ පරිපාලනයට එරෙහිව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ පැමිණිලි ගොනු කළා. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා නීතියේ දෙවඟන අපිට සාධාරණයක් ඉෂ්ටකරයි කියල. මේවනවිට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානින්ගේ අත්සනින් ලිපි නිකුත් කරල තියෙනවා අදාළ ගුරුවරියන් පළමු සේවාස්ථනයට රාජකාරී සදහා වාර්ථාකරන ලෙසට. නමුත් එම විදුහලේ පාලනාධිකාරිය ඒ කිසිම නියෝගයකට අවනත නැහැ. ඒ නිසා අපි නීතිය ඉෂ්ඨවෙනතුරු  බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මෙය තවත් එක සිදුවීමක් පමණයි. ප්‍රධාන සංස්කෘතික ධාරාව තුළ උපසංස්කෘතික හැඟීම් දැනීම් හඳුනාගන්නාතුරු මෙවැනි ගැටුම් මේ පුංචි රටේ ඉදිරියටත් සිදුවෙයි. අපි හැමවිටම ර් පටු අදහස් දුරු කරන්නට සටන් වදිනවා.