ශ්‍රීලාල් සෙනෙවිරත්න
1988 වසරේදී ‘දිවයින’ පුවත්පතෙහි ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙසින් මාධ්‍ය ක්ෂේත්රයට පිවිසි ශ්‍රීලාල් සෙනෙවිරත්න පසුව එම පුවත්පතේම විශේෂ වාර්තාකරුවෙකු ලෙසද, උපාලි පුවත්පත් සමාගම මගින් ප්‍රකාශයට පත් කළ සෙසු පුවත්පත්වල විශේෂාංග ලේඛකයෙකු ලෙසද කලක් සේවය කිරීමෙන් පසුව සන්ඬේ ලීඩර් සහ රාවය කර්තෘ මාණ්ඩලිකයෙකු ලෙසද සේවය කළේය.ස්වර්ණවාහිනි රූපවාහිනි සේවයේ ප්රවෘත්ති වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස කෙටි කලක් සේවය කිරීමෙන් පසු 2003 වසරේ ජනමාධ්‍යවේදියකු ලෙස ලේක්හවුස් ආයතනයට බැඳී කලක් දිනමිණ පුවත්පතේ උප කර්තෘවරයෙකු ලෙසද, සිළුමිණ පුවත්පතේ විශේෂාංග ලේඛකයෙකු ලෙසද සේවය කළේය.
2014 වසරේ ‘‘ඇත්ත’’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ධුරය දැරූ ඔහු පසුව අචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා සමඟ එක්ව ‘‘ඉදිරිය’’ සති අන්ත පුවත්පත සංස්කරණය කළේය. 2015 වසරේ ප්‍රකාශයට පත් කෙරුණු ‘‘ජනවාරි 8’’ මාසික සඟරාවේ සංස්කාරකවරයා වූයේද ඔහුය.
2006/7 වසර තුළ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ වෙබ් පුවත් සංස්කාරකවරයෙකු වූ හෙතෙම 2015 වසරේදී The colombopst.net වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු ලෙසින්ද කටයුතු කළේය. ඕස්ටේ්රලියාවේ ප්‍රකාශයට පත් කෙරෙන ‘‘සන්නස’’ පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස වසර දහයක පමණ කාලයක සිට කටයුතු කරමින් සිටින ඔහු මේ වන විට නිදහස් මාධ්‍යවේදීයෙකු ලෙස ජනමාධ්‍ය කිහිපයකටම සිය දායකත්වය ලබාදෙමින් සිටී.
2008 වසරේදී ‘‘නැඟෙනහිර මුදාගැනීම’’ නමින් මුල්වරට යුද තොරතුරු අනාවරණය කරමින් ග්රන්ථයක් ප්‍රකාශයට පත් කළ ඔහු අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ‘‘දෝෂාභියෝගය’’ නමින් දෙවැනි ග්‍රන්ථය එළිදක්වනු ලැබුවේ 2013 වසරේදීය.
ජනසන්නිවේදනය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යලයේද, සංස්කෘත මූල ග්රන්ථ පදනම් කරගත් ජ්‍යෝතිෂය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේද, රාගධාරී සංගීතය පිළිබඳ භාත්කණ්ඩ විශ්වවිද්‍යාලයේද ඩිප්ලෝමාධාරියෙකු වන ශ්‍රීලාල්, වෘත්තීය ජීවිතය තුළ ඉටු කළ මාධ්‍ය මෙහෙවර අගයමින් අධිකරණ අමාත්‍යාංශය මගින් මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු ලෙස පත්වීමක් ද ලැබූවෙකි.
[email protected]