ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිසුන් අතරයි
දෙවියන් කවදත් සාධාරණයි
දෙවියන් කවදත් සාධාරණ ය. මිනිස්සු දෙවියන් බෙදාගන්නට සටන් කරමින් සිටිති. අවසන ඒ සටනින් හැමදාම පරදින්නේ මිනිසුන්ම ය. ඒ සටන පසෙක ලා සාධාරණ වන්නට මිනිසුන්ට ආදර්ශයක් සැපයූ කතාවකි මේ.
“ජාති ආගම් කුළමල ගෝත්‍ර මොනව වුණත් සිංහල දෙමළ කතෝලික වෙනසක් නැතුව ඒ හැමෝම අපේ කෝවිලට එනව.මේ කෝවිලෙන් පිහිට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරන කිසි කෙනෙකුට දෙවියො ජාති අගම් කියල වෙනසක් කරන්නෙ නෑ. පහුගිය අතීතෙ අවුරුදු තිහක යුද්ධෙ තියෙන කාලෙ වුණත් සිංහල දෙමළ හැමෝම වෙනසක් නැතුව කෝවිලට ආව. ඒ කියන්නෙ දෙවින් හා මිනිසුන් අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිසුන් හා මිනිසුන් අතරයි”
මහනුවර මහයියාව ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ අජන්ත කුමාර් කුරුක්කල් තුමා එසේ පවසයි
අජන්ත කුමාර් කුරුක්කල් තුමන්ට අනුව දෙවියන් කවදත් සාධාරණ ය. මිනිස්සු දෙවියන් බෙදාගන්නට සටන් කරමින් සිටිති. ඒ සටනින් හැමදාම පරදින්නේ මිනිසුන්ම බව කුරුක්කල් තුමන් කියයි.
“මේ කෝවිලේ වහලට ඉහලින් පේන්නෙ ලොකු බෝධියක්. මේ බෝ ගහේ හෙවණ කෝවිලට ලැබෙනව. බෞද්ධ ජනතාව කෝවිලට වගේම ඒ බෝධියටත් වන්දනා කරනව. බෝගහ කියන්නෙ ජීවය තියෙන දෙයක්. සිංහල දෙමළ මුස්ලිම් කතෝලික කියල වෙනසක් නැතුව හැමෝටම බෝගහේ හෙවණ, සිසිල ශාන්තිය ලැබෙනව.”
/
අජන්ත කුමාර් කුරුක්කල් තුමන් එසේ අදහස් දක්වනවිටත් ඒ කෝවිලේ ආගමික සංහිඳියාව පදනම් කර ගත් වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් තිබිණි.
අනුරාධපුරයේ වලකුඹුරුමුල්ලේ ධීරානන්ද ස්වාමීන්වහන්සේත්, බෙනට් මැල්ලව පියතුමාත්, මහනුවර ඩෙස්මන් පෙරේරා පියතුමාත්,මහනුවර මුස්ලිම් කාට්ටු පල්ලියේ එච්.එම්.රිස්වාන් මවුලවි තුමන් ඇතුළු පූජ්‍ය පක්ෂයේ බොහෝ දෙනෙකු මෙන්ම සමාජ ක්රියාකාරිකයෝ රැසක් ද මහනුවර මහයියාව ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලට පැමිණ සිටියහ. මේ එක්වීම ප්‍රදේශයේ බොහෝ දෙනෙකුට ද අපූරු අත්දැකීමක් විය.
“මේ විදිහට රටේ හැමෝටම එකතුවෙලා වැඩකරන්න පුළුවන් නං දේශපාලනඥයින්ට පිස්සු නටන්න හම්බවෙන්නැහැ. ආගමික නායකයො එකට එකතුවෙලා ආදර්ශයක් දෙනවනං අවස්ථාවාදී දේශපාලකයො එක්කො හැදෙයි නැත්නම් ගෙදර යයි ” එසේ පවසා සිටියේ කෝවිලට විදේශ සංචාරකයින් පිරිසක් සමඟ පැමිණ සිටි ශ්‍රී ලාංකීය සංචාරක මඟ පෙන්වන්නෙකි. අවට සිටි සියල්ල එම ප්‍රකාශය අනුමත කරන බව ඔවුන් සියලුදෙනාගේම මුහුණුවලින් පිළිබිඹු විය.
ආගම් අතර සහජීවනය වෙනුවෙන් ආගමික නායකයන් හා ප්‍රජා නායකයන් සම්බන්ධ කිරීමත්, ඒ ඔස්සේ බෙදී වෙන් වී අරගල කරන ජනතාව එක්ව නැඟී සිටීමේ අවශ්‍යතාව අවධාරණය කරනු පිණිස මහනුවර පැවැත්වුණු සහභාගීත්ව වැඩසටහනකදී මේ අත්දැකීම අපට විඳගන්නට හැකි විය.
/
මෙම වැඩසටහනේ තවත් විශේෂත්වයක් වූයේ විවිධ ආගම් නියෝජනය කළ පූජ්‍ය පක්ෂයේ මෙම පිරිස දළදා මාලිගාව, මහනුවර මීරා මක්කම් මුස්ලිම් දේවස්ථානය, අම්පිටිය ජාතික දෙව් සත්හලට ආදී ආගමික ස්ථානවලට ගොස් ඒ සෑම පූජනීය ස්ථානයකම සිදුවන ආගමික වතාවත් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට කටයුතු කිරීමයි.
මිනිස් වර්ගයා ජාති අගම් කුලමල භේදවලින් බැහැර වී එකම මානවවාදී හැඟීමකින් කටයුතු කරන්නේනම් වර්තමානයේ අප රටේ පවතින ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් හට නොගන්නා බවත්, වඩාත් වැදගත්වන්නේ තම හෘද සාක්ෂිය මත පිහිටා කටයුතු කිරීම බවත් ශ්‍රී ජනසෙත පුළිඟුවනාරාමාධිපති කම්මට්ඨානාචාර්ය වලකුඹුරුමුල්ලේ ධීරානන්ද හිමියෝ ප්‍රකාශ කළහ.
උන්වහන්සේ ප්‍රකාශ කළේ රටක ස්ථිරසාර සාමය ඇතිකිරීම සඳහා සියලු ආගමික නායකයින් මෙන්ම දේශපාලන අධිකාරියත්, සිවිල් ජනතාවත් පටු සීමාවලින් මෑත් වී මනුෂ්‍යත්වයේ මූලික හරය වටහාගෙන කටයුතු කිරීම වැදගත් බවයි.
ආගම් අතර සහජීවනය වෙනුවෙන් ආගමික නායකයන් හා ප්‍රජා නායකයන් සම්බන්ධ කිරීමත්, ඒ ඔස්සේ බෙදී වෙන්වී අරගල කරන්නන් එක්ව නැගීසිටීමේ වැදගත්කම අවධාරණය කෙරෙන සහභාගීත්ව වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස ජාතික කරිටාස් ආයතනය, අනුරාධපුර සෙත්සවිය හා මහනුවර සෙතික් ආයතනය එක්කරමින් මෙම එකමුතු හමුව සංවිධානකොට තිබිණි. මේ අවස්ථාවට බෞද්ධ, හින්දු ,ඉස්ලාම් , කතෝලික පූජකතුමන්ලා මෙන්ම සමාජ ක්‍රියාකාරිකයින් හා සාමය සහයෝගිතාව අපේක්ෂා කරන්නෝ රැසක් ද සහභාගී වූහ.
මහයියාව මුස්ලිම් කාට්ටු පල්ලියේ එච්.එම්.රිස්වාන් මව්ලවි තුමන් තම අදහස් දැක්වීමේදී සඳහන් කළේ පසුගිය පාස්කු ඉරුදින සිදුවූ අවාසනාවන්ත සිදුවීම ඉස්ලාම් ආගමේ ඉගැන්වීම්වලට පටහැනි ක්‍රියාවක් බවත්, එය සිදුකළ අන්තවාදී පිරිස් කිසිදු අවස්ථාවක සැබෑ ඉස්ලාම් භක්තිකයින් ලෙස නොපිළිගන්නා බවත් ය. ඇතැම් දේශපාලනඥයන් ආගම දඩ මීමා කරගනිමින් ජාතිවාදී හැඟීම් අවුස්සා ඒ ඔස්සේ රටේ ජනතාව දෙකඩ කිරීමේ ක්‍රියාවල යෙදී සිටීම ඉස්ලාම් මවුලවිවරයකු වශයෙන් තමන් හෙළා දකින බවයි.
/
මහනුවර මහයියාව සෙතික් ආයතනයේ අධ්යක්ෂ ඩෙස්මන් පෙරේරා පියතුමන් පවසා සිටියේ අතීතයේ සිට මේ දක්වා වසර ගණනාවක් අප රටේ ජාතීන් ලබාගත් යහපත් දේ මෙන් ම අහිමිවූ දෑ තිබූ බවත්, වර්තමානයේ අප වඩාත් පීඩා විඳින්නේ ඒ අහිමිවූ සාමය, විශ්වාසය හා ප්‍රේමය නිසා බවත් ය. ඒ අහිමි වූ දෑ ආපසු ලබාගැනීමට අන්තර් ආගමික නායකයින් සාමය විස්වාසය හා ප්‍රේමය පෙරදැරිව කටයුතු කිරීම වත්මන් අවශ්‍යතාව බවත් ය.
‘හින්දු ආගමික දර්ශනය අපට කියාදෙන්නේ අප හැමදෙනාගෙම සිරුර පුරා ඇති එකම පැහැ රුධිරය සේම සියලුම මිනිසුන් එකම සහෝදර බැඳීමකින් ජීවත්වියයුතු බව’ යයි මහයියාව ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ අජන්ත කුමාර් කුරුක්කල් තුමන් කියයි.
“වසර තිහක යුද්ධය තියෙන කාලෙදිත් අපි ජාති වශයෙන් ආගම් වශයෙන් බෙදුණෙ නැහැ. සමහර පටු අදහස් තියෙන ආගම්වාදීන් කීපදෙනෙක් නිසා කාලන්තරයක් පැවතුණු හින්දු, බෞද්ධ, කතෝලික හා ඉස්ලාම් ආගම් අතර සහයෝගය ව්නාශ කරගන්න කිසිකෙනෙක් ඉඩතියන්න එපා. එවන් අවස්ථාවලදී අප බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි‘ යැයි අජන්ත කුමාර් කුරුක්කල් තුමන් තවදුරටත් කියා සිටියේ ය. ජාතිවාදය හෝ ආගම්වාදය වෙනුවට වාර්ගික ප්‍රේමයත්, ආගමික සහජීවනයත් මිනිසුන් යහපත් මාර්ගයකට යොමුකරන බව ඔහු පෙන්වා දුන්නේ ය.
/
මිනිසා තුළ සැකය සහ අවිශ්වාසය වර්ධනයකිරීම සඳහා වර්තමානයේ ඇතැම් ජනමාධ්‍ය මෙන්ම සමාජ ජාලා ද වගකීම් විරහිතව ක්‍රියාකිරීම අවාසනාවන්ත තත්ත්වයක් බවත් සිදුවිය යුත්තේ ආගම් යන ලේබලය පැළඳගැනීම නොව එම ආගම් තුළ ඇති ඉගැන්වීමේ හරය හඳුනාගෙන හෘද සාක්ෂියට අනුව ජීවත්වීම බවත් පාසල් අධ්‍යාපනයේද ජාතීන් ආගම් වෙන්කිරීම වෙනුවට එකම මානව දහමක වැදගත්කම උගැන්ව්ම යුගයේ අවශ්‍යතාව බවත් පැවසූ අනුරාධපුර සෙත්සවිය ආයතනයේ අධ්යක්ෂ බෙනට් මැල්ලව පියතුමා ,හෘද සාක්ෂි කමිටු පිහිටුවීම තුළින් තම තමන්ගේ හෘදසාක්ෂියට ආමන්ත්‍රණය කොට අන්‍යයන් කෙරේ යහපත් සාධනීය ආකල්ප ගොඩනගාගැනීමෙන් මිනිසා ආකල්පමය වශයෙන් පොහොසත් වූ විට ඉන් රටත් ලෝකයත් සාමකාමී වනබව ද සඳහන් කළේය.
එම අදහස් තවදුරටත් අප අන්ධයන් සේ එකිනෙකා සමඟ සටන්කරමුද? සැබෑ මිනිසුන්සේ එකිනෙකාට ප්රේමකරමුද? යන්න පිළිබඳ සිතා බැලීමට අප සැම පොලොඹවන්නකි. අප ගන්නා ඒ තීරණය දෙස අනාගත පරම්පරාව විමසිල්ලෙන් බලා සිටින බව ද අමතක කළ යුතු නොවේ.