Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ගෙදර යන්නට බැරිව
හිර වුණු මිනිස්සු

‘පරිස්සමින් ගෙදර ඉන්න!’ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා මාර්තු මාසයේ මුල සිට සමාජ හුදකලාකරණය ආරම්භ කළ දවසේ පටන් කාගෙත් මුවේ තිබෙන්නේ මේ වදන් ටික.

13.05.2020  |  
කොළඹ දිස්ත්‍රික්කය
வேலை முடிந்து வந்து படுப்பதற்கு ஒரு இடம் என்று இருந்தது ..இப்போ வீடாகிவிட்டது.

මාර්තු 12දා, සිකුරාදා සිට පාසල් වසා දමන බව කිව්වේ ඊට කලින් බ්‍රහස්පතින්දා සවසයි. පාසල් සිසුන්ට තම යහළු යෙහෙළියන්ගෙන් දිගු නිවාඩුවක් සඳහා සමුගන්නට තරම් කාලයක් ලැබුණේ නැහැ. දෛනික අත්‍යවශ්‍ය කටයුතුවල නොයෙදුණොත්, මිලියන ගණන් ආදායම් අහිමි වනු ඇතැයි ව්‍යාපාරිකයන් මැසිවිලි නැගුවා.

කොවිඩ්-19 වයිරසය විසින් නිර්මාණය කර තිබෙන අවදානම් තත්වය හමුවේ ලෝකයේ රජයන්ට එහි ව්‍යාප්තිය වළක්වන්නට වහා ක්‍රියාමාර්ග ගන්නට සිදු වුණා. යුරෝපා රටවල් ලොක්ඩවුන් ක්‍රියාමාර්ග අරගෙන අනවශ්‍ය අන්දමින් නිවසින් පිටතට යන පුද්ගලයන්ට දඩ ගහන බවට අනතුරු ඇඟෙව්වා. ඉන්දියාව හා ශ්‍රී ලංකාව වැනි රටවල් ඇඳිරි නීති පැනෙව්වා. එම නීති උල්ලංඝනය කළ අයට දඬුවම් කළා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, ඇඳරි නීති ප්‍රකාශයට පත් කරන විට නිවසින් දුරබැහැර තැන්වල සිටි ඇතැමෙකුට තම ගම්බිම් කරා යන්නට බැරි වුණා. එසේ ප්‍රියයන් සමග එක්වන්නට නොහැකිව සිර වූ මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ දුක්ගැනවිලි කීපයකට අපි සවන් යොමු කළා.

“පුතා මතක් වෙනකොට මට කෑම කන්නත් බැහැ. එයා වැඩ කරන්නෙ කුවේට්වල. එහෙ තත්වය මොකක්ද කියලා මං දන්නෙ නැහැ. එයා ඉන්නෙ තනියෙන්. කාටවත්, තව කෙනෙකුගේ ආරක්ෂාව ගැන සහතික වෙන්න බැහැ. සංක්‍රමණික ශ්‍රමිකයන්ට ආපසු සිය රට යන්නට අවසර නැහැ. ඊළඟට මොකක් වෙයිද කියලා අපි බයෙන් ඉන්නෙ.” එහෙම කිව්වෙ හාලිඇල කාන්තියා මහේශ්වරීයි.

සැරින් සැරේ ඇගේ පුතා ඇයට දුරකථනයෙන් කතා කරනවා. ඒත්, මේ කරදර කාලයේදී ඇයට ඔහු නැති පාළුව දැඩිව දැනෙනවා. පවුලේ අය එකට සිටියා නම්, එය සහනයක්.

“පුතා පුළුවන් වෙලාවට කතා කරනවා. එයාගේ වැඩපල වහලා. එයා නතර වී ඉන්නේ යහළුවන් එක්කයි. රැකියා කොන්ත්‍රාත්තුව අවසන් වෙනකල් එයාට ගෙදර එන්නට බැහැ. අස් වෙලා එනවා නම්, ටිකට්වලට අතින් වියදම් කරන්නට ඕනැ. තත්වය සාමාන්‍ය වුණාම ආපහු වැඩට යනවා ය කියා එයා කීවා,” ඇය පවසනවා.

ඇන්ඩො දිනේෂ් කරාටේ ගුරුවරයෙක්. ඔහු විදේශගත වුණේ තාවකාලිකවයි. ඒත්, දැන් ඔහුටත් ආපසු සියරට එන්නට බැරි වෙලා. “මං කරාටේ තරගවලට පිටරට යනවා. මේ වතාවේ මා කැනඩාවට ගියේ එහේ කරාටේ සංගමයක ආරාධනයෙන්. මං කැනඩාවට ආවේ මාර්තු 7දායි. දැන් මට ආපසු එන්නට පුළුවන්කමක් නැහැ. පවුලේ අය සමග මේ කාලයේ ජීවත් වෙන්නට බැරි වෙන එක ගැන මා දුක් වෙනවා. වීසා කාලය අවසන් වෙලා නැහැ. ඒ වුණත්, මං ආවේ මෙහෙ දිගු කලක් ඉන්නට නොවෙයි. දැනට මා නතර වෙලා ඉන්නේ මෙහේ කරාටේ ගුරුවරයකුගෙ ගෙදරයි. මං ඉක්මණින් මගේ රටට එන්නට ඕනැ. මා ඒ ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයට දැන්වූවා. තත්වය යහපත් වෙනකල් සිටින තැන ම නතර වී ඉන්නැයි ඔවුන් කිව්වා. තත්වය ස්ථාවර වුණ වහාම මට ගෙදර එන්නට පහසුකම් සලසන්නට ඔවුන් පොරොන්දු වුණා,“ දිනේෂ් දුරකථනයෙන් පැවසුවා.

දිනේෂ් කැනඩාවේ අසරණ වී සිටිද්දී, ඔහුගේ පවුලට උපකාර කරන්නේ ඥාතියෙකුයි. “මගේ මව්රට ශ්‍රී ලංකාව. මගේ පවුල ඉන්නේ එහේ. ඔවුන්ට යමක් වුණොත්, මට ඒක වාවාන්න බැහැ. මං ඉන්න ඕනැ එහේයි,” යි දිනේෂ් පවසනවා. මේ වන විට ඔහු මානසික වශයෙනුත් ආතතියට පත් වෙලා. වයිරසය ආසාදනය වන පිරිස දිනෙන් දින වැඩි වෙනවා. මේ වන විට ශ්‍රී ලාංකිකයන් නවදෙනෙකු ශ්‍රී ලංකාවේදී එයින් මිය ගිහින්. මුළු ලෝකය ම තිබෙන්නේ ලොක්ඩවුන් තත්වයකයි. තත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු ආපසු ශ්‍රී ලංකාවට නොපැමිණෙන්නැයි ශ්‍රී ලංකා රජය විදේශවල සිටින තම පුරවැසියන්ට අවවාද කළා.

විදේශ කටයුතු අමාත්‍යාංශය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහායෙන් පසුගිය මාර්තු 26දා තොරතුරු වේදිකාවක් දියත් කළා. විදේශ රටවල අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට එහි ලියාපදිංචි වන්නැයි ඉල්ලීමක් කළා. මේ වන විට 17,000ක් ශ්‍රී ලාංකිකයන් එහි ලියාපදිංචි වී සිටිනවා. ඒ අතර විදේශ රටවල කෙටි චාරිකා සඳහා ගිය අයත් ඉන්නවා.

ඊට අමතරව, බොහෝ අය දිස්ත්‍රික් තුළත් කොටු වෙලා. රැකියා ඇතුළු විවිධ අවශ්‍යතා සඳහා පැමිණි විශාල පිරිසක් ගම්බිම්වලට යාමට නොහැකිව අධි අවදානම් කොළඹ අගනාගරික ප්‍රදේශයේ සිර වී සිටිනවා. ‘නිවසේ රැඳී ඉන්නට’ දුන් අවවාදය නිවසින් බැහැර සිටින ඔවුන්ව ඇද දමා තිබෙන්නේ සුළුපටු දුෂ්කරතාවකට නොවෙයි.

බදුල්ලේ පදිංචිකරුවකු වන කේ. ප්‍රසාද් අවුරුදු තුනක් තිස්සේ කොළඹ සාප්පුවක සේවය කරනවා. “මාව මේ තරම් හුදකලා වෙයි කියලා මං කවදාවත් හිතුවෙ නැහැ. ඇඳිරි නීති දාපු දවසේ සාප්පුව වහන්නට රෑ වුණා. ගෙදර යන්නට වියදම් කරන්නට මා අතේ මුදල් තිබුණෙ නැහැ. දවස් තුනකට පසුව ඇඳිරි නීතිය ඉවත් කළාම, ආපසු ගෙදර යන්නට සාප්පු හිමියාගෙන් අත්තිකාරමක් ගන්නට පුළුවන් වේවි කියා මා සිතුවා. ඒ වුණත්, දැන් මං මෙහේ හිරවෙලා. මගේ මාමා පසුගියදා මැරුණා. මට අවමංගල්‍යයටවත් යන්නට බැරි වුණා. එදා කවුරුවත් මට කතා කළේ නැහැ. මාව හුදකලා වුණා. ඒක හරි බියජනක අත්දැකීමක්,” යි ඔහු පැවසුවා.

“වැඩ කරන දිනවල අපට කෑම ලැබුණා. දැන් අපි උයාගෙන කන්නට ඕනැ. අපේ සාප්පුවේ අයිතිකාරයා සාප්පුව වහලා අපට කුස්සියේ යතුරු දුන්නා. ඒ නිසා තමයි අපට උයාගෙන කන්නට පුළුවන්. හැකි වෙලාවට අපි ගෙදර අයත් එක්ක දුරකථනයෙන් කතා කරනවා,”

කාලිමුත්තු දිනෙස්කුමාර් ද ඒ ආකාරයට ම පසුගිය අවුරුදු නවයක් තිස්සේ කොළඹ 14 අවන්හලක වැඩ කරමින් සිටියා. ඔහු දික්ඔය පදිංචිකරුවෙක්. ඇඳිරි නීති නිසා ඔහුත්, තවත් පස්දෙනෙකුත් කාමරයක හිර වෙලා. ඔහු අපට දුක කීවේ මෙහෙමයි: “මා අතේ මුදල් තිබුණත් පිටතට යන්නට බැහැ. හාල්, පරිප්පු, සෝයා ඔක්කොම තියෙන්නේ පොඩ්ඩයි. අවන්හල හිමිකරුවා අපට ඉඳහිට බඩු එවනවා. දැන් අපි උදේ ආහාරය ගන්නේ නැහැ. වේල් දෙකකින් පිරිමහ ගන්නවා. උදේ කෑම මගහරවාගන්න අපි නැගිටින්නේ ගොඩක් දවල් වෙලායි. අපි දවල්ට බත් උයා රෑටත් ටිකක් ඉතිරි කරගන්නවා.”

මේ අතර ඔහුගේ ගම වන තාරවල වත්තේ ඔහුගේ පවුල ඇතුළු පවුල් 200ක් කෝවිලක උත්සවයකට සහභාගි වූ නිසා වයිරසයට නිරාවරණය වන්නට ඇතැයි සැකය මත ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඇඳරි නීති අයින් කළත් දැන් දිනෙස්කුමාර්ට ගමට යන්නට බැහැ.

කොළඹ හා දෙහිවල සිර වී සිටින අය අතර නැගෙනහිර පළාතේ සිට ඉදිකිරීම් කර්මාන්තයේ රැකියා සඳහා පැමිණි අය ද සිටිනවා.

“අපට නතර වී ඉන්නට පෞද්ගලික කාමර නැහැ. අප ඉන්නේ හදන ගොඩනැගිල්ල අසල පුංචි මඩුවලයි. වැඩ කරන කාලෙත් අපි අපේ කෑම උයාගත්තා. දැනුත් ඒ විදියට ම උයා පිහාගන්නවා. ඒත්, කෑම හිඟයි. අපි පිටි ටිකක් මිල දී ගත්තා. ඒ නිසා වේල් දෙකක් රොටි කාලා, එක් වේලක් බත් කනවා,” යි අපට පැවසුවේ එසේ සිර වී සිටින හයදෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක එක් අයෙකුයි.

ඔවුන් හයදෙනාම විවාහකයන්. තමන් උපයන මුදල් පවුලේ අයට යවන්නට ඔවුන් පුරුදු වී සිටියා. ඒත්, දැන් වැඩත් නැහැ. ආදායමුත් නැහැ. “දැන් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නවත්වලා.  අපි කරන්නේ පිරිසිදු කිරීම් වගේ පුංචි වැඩ විතරයි. අප හය දෙනාට ම කරන්නට වැඩ නැති නිසා, දවසකට එක්කෙනෙකු විතරක් බැගින් හයදෙනා මාරුවෙන් මාරුවට වැඩ කරනවා. එක්කෙනෙකුගේ දෛනික වැටුප රු. 1,600යි. අපි ඒකෙන් තමයි පණ ගැටගහගන්නෙ.”

ඒ කතා ගමට යාමට නොහැකිව කොළඹ සිර වී සිටින මිනිසුන්ගේයි. කොළඹ දිස්ත්‍රික්කය පුරා පනවා තිබෙන ඇඳිරි නීතිය ඉවත් කරන දිනයක් මේ වනතුරුත් නියම කර නැහැ. එපමණක් නොවෙයි, දිස්ත්‍රික්කයකින් තවත් දිස්ත්‍රික්කයකට යන එකත් තහනම්. ඔවුන්ට උදව් කිරීම සේවායෝජකයන්ගේ වගකීමක්. අසල්වැසියන්ටත් පුළුවන් ඔවුන්ට ආහාරපාන සොයාගන්නට උදව් කරන්න. හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන්, කිසිවකු අත නොහැර, හැම කෙනෙකු ම රැක බලාගෙන, දුරස්ථභාවය රැකගනිමින් වයිරසය පැතිරී නොයන අන්දමින් පරිස්සම් වන එක අප සැමගේ සමාජ වගකීමක්.