Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

භාෂාව යනු අදහස් කියා පෑමේ ක්‍රමවේදයකි

යුද සමයේ එය, දෙමළ කතාකරන ජනයාට බිය ගෙන දුන් මෙවලමක් විය. එය නොදැන සිටීමට වඩා යන්තමින් දැන සිටීම බියකරුය.

23.12.2017  |  
යාපනය දිස්ත්‍රික්කය

මෙහි සිංහල කතා කරන්නන් නැත. පාසල්වල ඉංග්‍රීසි ඉගැන්වුවද අප අදහස් හුවමාරු කරගන්නේ දෙමළ බසිනි. අපේ මව් බස නොදන්නා කවුරුන් හෝ සමඟ කතා කිරීම සැම විටම මහත් අපහසුතාවකට ලක් වීමට හේතුවකි. අපි යෙස්, නෝ, ගෝ, කම් වැනි සරල වචන සමඟ අංග චලනයන් උදව්වෙන් යන්තම් ඉහ ගහගෙන සිටින්නෙමු.
වරක් මෙහි සිංහල කතා කරන්නෝ සිටියද ඔවුහු අත අවි දරා සිටියහ: යාපනයට පැමිණි විට හමුදා පිරිස්වල හඬ නුහුරු වූ අතර මංමාවත් පුරා රැව් දුණි. මුලින්ම දැනුණේ ඔවුන්ගේ භාෂාවේ නුහුරු ගතියක් වුවද, කාලයාගේ ඇවෑමෙන් අපි එයට බියපත් වන්නට වීමු. ක්‍රම ක්‍රමයෙන් අපට කෑගසන්නටත් පැන යන්නටත් ඕනෑ විය. 1980 පරපුරේ අය තුළ සිංහලය පිළිබඳ බියත් වෛරයත් ඇරැඹුණේ එසේය.
හමුදාව, 1990 අග භාගය වන විට යාපනයේ පාලනය සම්පූර්ණයෙන් සියතට ගත්තේය. ප්‍රධාන මංසන්ධි සහ වීථිවල ලොකු-කුඩා හමුදා කඳවුරු ස්ථාපිත විය. ඇතැම් ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කෙරිණි.
පාසල අහවර වූ පසු, හමුදාව සිංහලෙන් ප්‍රශ්න කළ විට තරුණයන් බහුතරයක් නිහඬව සිටියේ ඔවුන්ට නිලධාරීන් අසන කිසිවක් නොතේරුණු බැවිනි. පසුව හමුදාවේ පිරිස් කැඩිච්ච දෙමළෙන් සීමිත ප්‍රශ්න කීපයක් විමසන්නට විය.
”ඔයා කොහෙද යන්නේ?”
”ගෙදර යනවා, සර්”
”ගෙවල් කොහෙද”
”චෙම්මනි පාරෙ, සර්”
”මොනවද ඔය මල්ලේ තියෙන්නේ? ‘කෝම්බ’ එහෙම තියෙනවාද?” (‘කෝම්බ’ යැයි සිංහල ගැමි වහරෙන් හැඳින්වූයේ බෝම්බය). ටිකෙන් ටික කෝම්බ යන්නෙහි තේරුම දැනගත් පසු ඒ ගැන විමසූ විට සිසුහු හිස වේගයෙන් වමටත් දකුණටත් සොලවමින් පිළිතුරු දෙන්නට වූහ.

තංගරාසුගේ කතාව

ටවුමේ ගස් නැඟීමටත් පොල් කැඞීමටත් සිටි එකම පුද්ගලයා වූයේ තංගරාසුය. ඔහුගේ හැකියාව මත ඒකාධිකාරීත්වයකින් යුතුව රැකියාව ගෙන ගියද සේවාවක් ලෙස කෙරුණු සාර්ථක ව්‍යාපාරයට බොහෝ සෙයින් ඉල්ලූමද වැඩි විය.
සුරුට්ටුවක් කටේ රුවාගෙන නිතර තල්ලූ කරන පා පැදියේ හැඬලයේ, එක් පසෙක එල්ලා ඇති මල්ලේ වක් පිහියක් සහ ගස් නැඟීමට අවශ්‍ය තවත් ආම්පන්නද ඇතැම්විට අනෙක් පස කුරුම්බා ගෙඩි දෙක තුනක්ද දැකිය හැකි විය.
දිනක් ඔහු මෙසේ පා පැදිය තල්ලූ කරගෙන යද්දී හමුදාවෙන් නතර කරනු ලැබීය. සුරුට්ටුව විසි කළ ඔහු සරමේ කැහැපොට දිගහැර තමන් කිසිවක් සඟවාගෙන නොසිටින බව තහවුරු කරමින් ”මහත්තයා” යැයි කීවේය.
තංගරාසුට සිංහල පුළුවන් යැයි සිතූ හමුදා සෙබළුන් ඔහුගෙන් විමසන්නට වූයේ ඔහු සතුව කෝම්බ (බෝම්බ) තිබේද කියාය. එහෙත් ඒ එක වචනයක්වත් තංගරාසුට තේරුණේ නැත. ඔහු හිස කසා යාප්පු සිනාවක් පෑවේය. හමුදා පිරිස ඔහු වෙත කඩා පැන්නේ එකම ප්‍රශ්නය යළි යළිත් නඟමිනි. තංගරාසුට තේරුණු එකම වචනයක් විය. ඒ ‘කෝම්බ’ ය. දෙමළ බසින් එහි තේරුම වූයේ පොල් කටුව යන්නයි. තමන්ගේ රැකියාව පිළිබඳ යමක් අසනවා විය හැකි යැයි සිතූ ඔහු ”ඔව්, ගෙදර නම් ටිකක් තියෙනවා, මං අරං එන්නද? ” කියා ඇසුවේය. සොල්දාදුවාගේ කඩා පැනිල්ලේ තරමට කුමක් හෝ වරදක් සිදු වුණු බව අවබෝධ වුණු තංගරාසු දන්නා සියලූ අංග චලනයන් පෙන්වමින් පිළිතුර යළි පැහැදිලි කිරීමට උත්සාහ කළේය. හමුදාවේ ප්‍රතිචාරය තංගරාසුගේ කන හරහා කම්මුලට වැදුණු අතර, ඔහු හමුදා කඳවුරට ගෙන ගිය පසු දැඩි පහර දීමටද ලක් විය.
මේ සිදුවීම ආරංචි වූ තංගරාසුගේ බිරිය අසල්වැසියන්ගේ උදව් උපකාර ඉල්ලා වැළපෙන්නට විය. සිංහල කතා කළ හැකි ගැමියෝ කීපදෙනෙක් කඳවුරට ගොස් තංගරාසු සත්‍යවාදීව පිළිතුරු දීම නිසා ඇති වූ ඇබැද්දිය නිලධාරීන්ට පැහැදිලි කළහ. ඔවුන් තංගරාසුගේ රැකියාව සහ මේ පද පෙරළියේ ගැටලූව පැහැදිලි කළ පසු සිය අසල්වැසියා කඳවුරෙන් මුදා ගැනීමට සමත් වූහ. එහෙත් මේ සිදුවීමෙන් අනතුරුව ටික දිනක් කොර ගැසූ සංගරාසු සදහටම සිය බඩ ගෝස්තරය සොයා ගත් ගස් නැඟීමත් පොල් කැඞීමත් අතහැර දැම්මේය.

කොළඹ ඇතුළේ යාපනයක්

යුද්ධය අවසන් වූ 2009 වසරේ උතුරුකරයේ විසූ ශ්‍රීලාංකිකයන්ට ඉක්මනින් මෙන්ම පහසුවෙන් කොළඹට පැමිණ නතර වීමට හැකියාව ලැබිණි. එසේ උතුරුකරයෙන් පැමිණියවුන් හට වෘත්තීයමය හැකියාවන් තිබුණද ඔවුන්ට කතා කළ හැකි වූයේ දෙමළ බස පමණි. ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම ලිවීමට පමණක් සීමා විය.
කොළඹ වැල්ලවත්ත ප්‍රදේශය දෙමළ ජනයාගෙන් පිරී ගිය විට ‘පුංචි යාපනයක්’ ම විය. දෙමළ කතා කරන පිරිස් එකම පවුලක් ලෙස බැඳී වෙසෙමින් විවිධ ව්‍යාපාර පවත්වාගෙන යනු ලැබිණි. උතුරෙන් කොළඹට පැමිණෙන්නන් නිතැතින්ම සොයා බැලූවේ වැල්ලවත්තෙන් පදිංචියට තැනක්ය. එහෙත් මේ පෙදෙසේ වාසය කිරීම නිසා දෙමළ ජනයාට සිංහල ඉගෙන ගැනීම තවත් අපහසු වූවා පමණක් නොව සිංහල නොදැන කොළඹ පුරා සැරිසැරීම ඊටත් වඩා අමාරු කාරියක් විය.
නිදසුනක් ලෙස බස් රථයක් තුළ සිදු වන සරල අන්තර්ක්‍රියාවක් ගනිමු. කොන්දොස්තර මාරු කාසි පිළිබඳ විමසූ විට ඔබ ඉංග්‍රීසියෙන් පිළිතුරු දුනහොත් තත්ත්වය බරපතළ වනු ඇත. භාෂාව නොදැන සිටීම නිසා උතුරින් පැමිණි සෑහෙන පිරිසක් රුපියල් සියයේ ඉතිරි මුදල් නිවැරැදිව නොගෙන නිහඬවම බසයෙන් බැස ගිය අවස්ථා එමටය.

සන්නිවේදනයේ අන්තර්ජාතික බස

මම මෑතකදී සුළු සැත්කමක් සඳහා යාපනයේ ශික්ෂණ රෝහලට ගියෙමි. ශල්‍යකර්මයෙන් පසු වාට්ටුවේ හෙදියන් මා වෙත දැක්වූ කරුණාවන්ත බව පිළිබඳ මම විස්මයට පත් වීමි. ඔවුන්ගේ කතා ශෛලියෙන් ඔවුන් සිංහල අය බව මම අවබෝධ කර ගතිමි. එහෙත් ඔවුන් පැහැදිලි දෙමළ කතා කළ අතර සියලූ රෝගීන්ට එය තේරුම් ගත හැකි විය.
ඔබ නිරත වන වෘත්තියේදී ආදරය හා කරුණාව පතුරුවයි නම්, භාෂාව යනු තවදුරටත් අදහස් කියා පෑමේ ක්‍රමවේදයක්, හැඟීම් ප්‍රකාශනයේ මාධ්‍යයක් මිස බාධකයක් නොවනු ඇත. එය අවබෝධ කර ගත් විට ඔබට ඕනෑම භාෂාවක් ඉගෙනීමට හැකියාව ලැබෙනු ඇත.