සැඟවූ පරපුරක උරුමය සොයා ගිය
පුතු එනතුරු මඟ බලමි
සියවස් කිහිපයක් තිස්සේ සිය අනන්‍යතාව අහිමි කොට අන්‍ය ජාතියක් ලෙස ජීවත්වීමට බල කෙරුණු නැගෙනහිර පළාතේ ආදිවාසී ප්‍රජාව පිළිබඳ ගවේෂණයකි. ලෙච්චිමී තොප්පිගල දෙසට වැටී ඇති ගුරුපාර දෙස බලාගෙන සිටියාය. ගුරුපාර දිගේ සෙමෙන් ඉදිරියට ඇදෙන ඇගේ මහළු දෑස් දුර ඈත තොප්පිගල වනයේ නොපැහැදිලි දසුන් අතර බොඳ වී යයි. දස වසරකට වැඩි කාලයක් තිස්සේ ගෙවී ගිය හැම දවසකම […]
සියවස් කිහිපයක් තිස්සේ සිය අනන්‍යතාව අහිමි කොට අන්‍ය ජාතියක් ලෙස ජීවත්වීමට බල කෙරුණු නැගෙනහිර පළාතේ ආදිවාසී ප්‍රජාව පිළිබඳ ගවේෂණයකි.
ලෙච්චිමී තොප්පිගල දෙසට වැටී ඇති ගුරුපාර දෙස බලාගෙන සිටියාය. ගුරුපාර දිගේ සෙමෙන් ඉදිරියට ඇදෙන ඇගේ මහළු දෑස් දුර ඈත තොප්පිගල වනයේ නොපැහැදිලි දසුන් අතර බොඳ වී යයි. දස වසරකට වැඩි කාලයක් තිස්සේ ගෙවී ගිය හැම දවසකම ඇගේ දින චරියාව ඇරඹුණේ එපරිද්දෙනි. එහෙත් කිසි දිනෙක ඇගේ නෙත සොයන දසුන හමුවූයේ නැත.
ලෙච්චමී රාසයියාගේ බිරිය ය. නොගැඹුරු මුහුදේ හෝ කලපුවේ කරන ධීවර කටයුතු, ඔවුන්ගේ පාරම්පරික ජීවනෝපායයි. ඔවුන්ගේ එකම දරුවා අරුමනායගම්ය. පාසල් වියේදී එල්ටීටීඊ සටන්කාමීන් යැයි සැක කෙරෙන පිරිසක් විසින් පැහැරගෙන ගිය ඔහු කිසිදා යළි පැමිණියේ නැත. දරුවා එනතුරු ඇය මෙන්ම බලා සිටි රාසයියාද දස වසරකට පමණ පෙර මියැදුණේය. තනි වූ ඇය, එදා සිට මෙබඳු දවස් බොහෝ ගණනක් ගෙවා දමා තිබේ.
මඩකලපුව දිස්ත‍්‍රික්කයේ, වාකරේ ප්‍රදේශයේ ‘කුන්ජම්කුලම්’හි දිවි ගෙවන ලෙච්චමීගේ ඉරණම, ස්වකීය අනන්‍යතාව බලහත්කාරයෙන් වෙනස් කොට, අන්‍ය ජනවර්ගයක් ලෙස ජීවත්වීමට බල කෙරුණු ඔවුන්ගේ පරපුරේ ඛේදවාචකය පිළිබඳ එක් නිදසුනක් පමණි. දෙමළ නම් ඇතිව, දෙමළ බස කතාකරමින් දිවි ගෙවූවද ඔවුන් කැමති තමන් ‘ආදිවාසීන්’ ලෙස හඳුන්වනු ලැබීමටය.
ලෙච්චමීලාගේ පරපුරට තම අනන්‍යතාව අහිමි කිරීමේ අසාධාරණය, අද ඊයේ නොව සියවස් දෙක තුනක් තරම් ඈතක සිට සිදුවූවකි. එනිසාම පරම්පරා ගණනාවක් තිස්සේ ඔවුන් විඳි ගැහැට අපමණය.
නැගෙනහිර ආදිවාසී ජනයා ඔවුන්ගේ ජීවනෝපාය අනුව නොගැඹුරු මුහුද හා කළපු අසලද මහවැලි ගගේ අතු ගංගාවක් වන වෙරුගල්ආරු අවටද බහුලව විසූහ. බටහිර ගවේෂකයින් විසින් මුහුදු වැද්දන්, කළපු වැද්දන් ආදී වශයෙන් හඳුන්වා දෙන ලද්දෝ ඔවුහුය. ආදිවාසී ‘වරිග’අතුරින් දැනට වඳව ගොස් ඇතැයි සැලකෙන ‘ඇඹලවවරිගේ’ ‘මොරාන වරිගේ’ සහ ‘උනාපාන වරිගේ’ ඔවුන්ගේ අතීත වග වාසගම් විය.
ඔවුන්ගේ අනන්‍යතාව අහිමි වීමේ ඛේදවාචකය ඇරඹෙන්නේ, යටත් විජිත සමයේ විවිධ කම්කරු වෘත්තීන් සදහා මෙරටට ගෙන්වූ දෙමළ ජනයා ආදිවාසීන්ගේ ගම්මාන තුළ පදිංචි කරවීමෙනි. මෙරට මුල් පදිංචිකරුවන් වූ ආදිවාසීන්ද දෙමළ අනන්‍යතාව තුළ දිය කර හැරීම අධිරාජ්‍යවාදීන්ගේ උපාය මාර්ගය වූ බවත් ආදිවාසී දරුවන්ගේ උප්පැන්න සහතිකවල ජාතිය ‘දෙමළ’ යනුවෙන් සඳහන් කිරීම එහි ප්‍රතිපලයක් බවත් කියති.
වඩාත් ඛේදජනක කාරණය නම් සියවස් 3, 4කට ඉහතදී අධිරාජ්‍යවාදීන් විසින් සිදු කළ අසාධාරණය අද දක්වාම එලෙසම පවත්වාගෙන යාමට ඔවුන්ගේ අනුගාමිකයින් වන දේශීය පාලකයන්ද කටයුතු කිරීමය. එය මැනවින් ඔප්පු වන්නේ, මේ වන විට නැගෙනහිර පළාතේ නිල සංඛ්‍යාලේඛන කිසිවක ‘ආදිවාසී’ අනන්‍යතාවෙන් යුත් එක් මනුෂ්‍යයෙකු හෝ සිටින බවට සඳහනක් නොවීමෙනි.
ලංකාව අධිරාජ්‍යවාදයෙන් නිදහස් වී දසක 7කට ආසන්න කාලයක් ගතවී ඇතත්, සුළුතර ජනවාර්ගික අනන්‍යතා සහිත ප්‍රජාවන්ට එම නිදහසේ අරුණළු වැටී නැති බවට මෙම ආදිවාසී පරපුරේ කතාව ප්‍රබල උදාහරණයකි.
සැඟවූ පරපුරක වර්තමානයනැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් ඞී. එම්. සරත් අබේගුණවර්ධන මහතාගෙන් නැගෙනහිර පළාතේ ආදිවාසීන් පිළිබඳව තොරතුරු විමසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
‘‘නැගෙනහිර පළාතේ ආදිවාසීන් කියල වෙනම සංඛ්‍යාලේඛන නෑ. සංගණනවලදි තවමත් ලේඛනගත වෙන්නෙ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හා වෙනත් කියලයි. ආදිවාසීන් වෙනම ජනකොටසක් ලෙස නොසැලකීම තමා ගැටලූව.’’
නැගෙනහිර පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අධ්‍යක්ෂ වික්‍රමආරච්චි මහතාගෙන් දැනගැනීමට ලැබුණේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් ආදිවාසී පවුල් 627ක සාමාජිකයින් 2460ක් සිටින බවයි. නැගෙනහිර පළාතේ ආදිවාසී ගම්මාන විසි පහකට වඩා ඇති බවට තොරතුරු අනාවරණය කරගැනීමට හැකි විය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ‘කොරලේපත්තු උතුර’ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නැගෙනහිර පළාතේ වැඩිම ආදිවාසීන් සංඛ්‍යාවක් සිටින බව සැලකෙන ප්‍රදේශයයි. එහි සංස්කෘතික නිලධාරී සිවරාම් පවසන්නේ දැනට ආදිවාසී ජනයා හින්දු ආගම ඇදහූවත් ඈත කාලයේ මළගිය නෑයකුන් ඇදහූ බවට සාධක ඇති බවයි. පරණ සිරිත් විරිත්, ආදිවාසී වෙදකම් අදටත් ඔවුන් අතර ප්‍රචලිත බවත් එයින් ආදිවාසීන් වෙනම හඳුනාගැනීමද පහසු බවත් ඔහු පෙන්වාදෙයි. මෙරට අනෙකුත් ආදිවාසීන්ගේ කිරිකොරහ, හැත්මේ ශාන්තිකර්ම මෙන් ‘සඩංගු’ නමින් ශාන්තිකර්මයක් ඔවුන් අතර පවතින බවද ඔහු පවසයි.
බිහිසුනු යුද සමයගෙවී ගිය වසර 30ක යුද සමය, වාකරේ ආදිවාසීන් පමණක් නොව සමස්ත උතුරු නැගෙනහිර ආදිවාසී ජනතාවම දැඩි පීඩනයකට ලක්වූ කාල පරිච්ෙඡ්දයකි. බලෙන් පටවන ලද දෙමළ අනන්‍යතාව නිසා ඔවුන්ට යුද වැදුණු දෙපාර්ශ්වයේම තාඩන පීඩනවලට මුහුණදීමට සිදුවිය. වයස අවුරුදු 12, 14, 16 වැනි වයසේ පසුවන පාසල් දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් යුධ කටයුතුවලට, බංකර් ඉදිකිරීමට, ඔත්තු බැලීමට යොදවාගත් අවස්ථා සුලබ විය.
කොටි සාමාජිකයින් තොප්පිගලට යන එන ගමන් මාර්ගයේ පිහිටි කුන්ජම්කුලම්, මදුරන්කුලම්, කිරිමිච්චෙයි වැනි ආදිවාසී ගම්මානවල සිටි තරුණයින් සියලූ දෙනාම පාහේ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් යුධ කටයුතුවලට යොදාගත් බවත් ඔවුන්ගෙන් බහුතරයකට වූ දෙයක් දැනගන්නට නැති බවත් ගම්වැසියෝ කියති. අනෙක් අතට යුධ හමුදාවේ සැකයට භාජනය වීමෙන්ද ඔවුන්ට හිරිහැර සිදුවී ඇත.
‘‘අපි මේ සටන් කරන්නේ මේ රටේ සුළු ජාතීන් වෙනුවෙන්. ඒ නිසා උඹලත් ඒවට උදව් කරන්න ඕන. කියල අපේ දරුවො අරන් ගියා.’’ මදුරන්කුලම් ප්‍රදේශයේ ජීවත් වන ආදිවාසී සම්භවයක් ඇති කදිරමලේ පුනරිත්තන් කියයි.
කවීරා වයස අවුරුදු 26ක දෙදරු මවකි. ඇගේ සැමියා වන නල්ලතම්බිගේ තවරාජා ආදිවාසී නායක වේලායුදන්ගේ සහෝදරයාය. ඔහුද පාසල් වියේදී පැහැරගැනීමට ලක්ව, දීර්ඝ කාලයක් කොටි සංවිධානයට සම්බන්ධව සිටි අයෙකි. එහිදී තදබල ලෙස අනතුරකට ලක්ව ගමට පැමිණි ඔහු ඉන් පසු විවාහ වී දරුවන්ද සමග නිවසේ සිටියදී හමුදාව විසින් පුනරුත්ථාපනය සදහා රැුගෙන ගොස් ඇත. වවුනියා පුනරුත්ථාපන කඳවුරේ ඔහු සිටින බවත්, දෙමළ ලෙස පෙනී සිටීමට සිදුවීම නිසා ඔවුන් මෙම අවාසනාව උරුම වූ බවත් කවීරා පැවසුවාය.
බලධාරීන් සියවස් ගණනක් තිස්සේ වැළලීමට උත්සාහ දැරුවද පරපුරක උරුමය යනු එසේ යටපත් කළ හැක්කක් නොවේ. වාකරේ ආදිවාසී නායක වේලායුදන් මෙන්ම ප්‍රධාන ආදිවාසී නායක වන්නියලැත්තන්ද ඒ වෙනුවෙන් අරගලයක නිරතව සිටියි. තම පරපුරට අහිමි වූ මිනිස් අයිතිවාසිකම් නැවත ලබාදෙන ලෙස ඉල්ලා සිටින ආදිවාසී නායක වේලායුදන් පවසන්නේ ඔහුට පෙර සිටි ආදිවාසී නායකයාද දෙපා පණ නැති වී එකතැන් වන තුරුම ඒ වෙනුවෙන් උත්සාහ දැැරූ බවයි.
”මේ ඇත්තන්ගේ පණපොජ්ජ පට ඇරෙන්න ඉච්චරින් පරම්පරාවේ කැකුළන්ට ආදිවාසී නම්පොජ්ජ ජාතිපොජ්ජට කරුකුරු ගච්චන්නයි දැ`ගලූම්පොජ්ජ මන්දොකරන්නෙ.” ඔහු පැවසුවේය.
ආදිවාසී නායක වන්නියලැත්තන් පවසන්නේ වාකරේ පමණක් ආදිවාසීන් ලක්ෂයකට ආසන්න පිරිසක් සිටින බවයි. ඔවුන් දෙමළ ජාතීන්ගේ පහත් කුලයක් යැයි සලකන නිසා වත්මන් තරුණ පිරිස් ආදිවාසීන් යැයි කීමට මැලි වන බවත් පැවසීය. ඔහු පවසන්නේ ආදිවාසීන්ගේ මෙම මානසිකත්වය වෙනස් කිරීමද, ආදිවාසීන් යනු මේ රටේ ආරම්භක සාමාජිකයන් යැයි පහදා දීමද කළ යුතුව ඇතත් එම ප්‍රදේශවල රාජකාරි කරන ග්‍රාම නිලධාරීන් අදටත් නිවැරදි තොරතුරු වසන්කරන බවයි.
‘‘ඒ ඇත්තන්ගේ ජාති පොජ්ජ ‘ආදිවාසී’ එහෙම කොදොයි නම් ‘වැදි’ කියලයි කරුකුරුගච්චන්න තිබන්නෙ. මේ ඇත්තන්ගෙ උප්පැන්නපොජ්ජෙ ජාතිපොජ්ජට ‘වැදි’ කියලයි කරුකුරුගච්චලා තිබන්නෙ. මහවැලි සංවර්ධන වැඩපොජ්ජෙන් පච්චෙ ඉපදුම්පොජ්ජ මන්දොවුණ කැකුළන්ට ජාතිපොජ්ජට ‘සිංහල’ කියලා කරුකුරුගච්චනවා. ඒ තැනත් වැරදි තැනයි. මුලූ රට පොජ්ජෙම රඳන ආදිවාසී මිනිග්ගජ්ජුන්ගේ ජාති පොජ්ජ ‘ආදිවාසී’ කියලා කරුකුරුගච්චලා දෙන්න කියලයි මේ ඇත්තො කතා දමන්නෙ’’
මට ලෙච්චමී සිහි වෙයි. ඇය අදත් ගෙතුළ සුරක්ෂිතව තබා ඇති මා දැල එළියට ගෙන සිහින මවන්නේ, ඇගේ පුතා අරුමනායගම් කලපු යාමට එනතුරුය. දැන් ඔහු ගජ ඉලන්දාරියෙක් බවත්, කොයි මොහොතේ හෝ තොප්පිගල දෙසට වැටී ඇති පටු මාවතෙන් ඔහුගේ රුව මතු වනු ඇති බවත් ඇගේ විශ්වාසයයි.
ආදිවාසී පරපුරේ පොදු ඉල්ලීම ඉටු කර දීමට මෙන්ම යුද්ධය නිසා විපතට පත් ඇය වැනි බොහෝ දෙනෙකුට යුක්තිය ඉටු කිරීමට මැදිහත් වීම, සංහිඳියාව ගොඩනැගීම අපේක්ෂාකරන සියල්ලන්ගේ යුතුකමක් නොවේද?