ආගමික අන්තවාදයට
අපේ සහායක් නෑ
රටවල් හතළිහකින් විසි එක් දහසකට අධික ඩාවුඩි බෝරා ප්‍රජාවක් සහභාගි වූ ‘අෂාරා මුබාරකා’ ආගමික සැමරුම බොහෝ පිරිසකගේ විශේෂ අවධානයට ලක් වූයේ පසුගිය දා රට තුළ සිදු කෙරුණු බෝම්බ ප්‍රහාරයේ උණුසුමත්, ඉන් පසුව හිස එසවූ අන්තවාදී මතවාදත්, මුස්ලිම් ප්‍රජාව පිළිබඳ සමාජගත කරනු ලැබූ අවිශ්වාසයේ අඳුරු සෙවණැලි තවදුරටත් සමාජයේ සැරිසරමින් පැවතීම හේතුවෙනි. එවැනි සංකීර්ණ වටපිටාවක මෙවැනි සමුළුවක් පවත්වන්නට හැකිවීම ම එක් අතෙකින් රට ලැබූ ජයග්‍රහණයක් බඳු ය.
ලොව පුරා විසිර සිටින ඩාවුඩි බෝරා මුස්ලිම් ප‍්‍රජාවේ ප‍්‍රධාන ආගමික සමරුව වන ‘අෂාරා මුබාරකා’ මේ මස 01 වෙනිදා සිට 10 වෙනිදා දක්වා පවත්වනු ලැබුවේ හුසෙයිනි මස්ජිද් පල්ලිය කේන්ද්‍රකොට ගෙන කොළඹ බම්බලපිටියේදී ය. මේ සමුළුව හා ඒ පිළිබඳ පසුබිම සම්බන්ධයෙන් මෙලෙස අප හා කතා බහට එක්වූයේ ‘අෂාරා මුබාරකා’ සමරුවේ සංවිධායකවරයකු වූ, ඩාවුඩි බෝරා ප්රජා නායක ෂබීර් මොහමඞ් ය.
පාස්කු ඉරිදා රට තුළ සිදුවූ බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසු එතෙක් පැවැති මුස්ලිම්-සිංහල ජනවර්ග අතර විශ්වාසය සහ සංහිඳියාව බරපතල ආකාරයේ බිඳ වැටීමකට ලක්වුණා. අන්තවාදී මතවාදවලට වලංගුභාවයක් හිමිවුණා. එවැනි සංකීර්ණ තත්ත්වයක් රට තුළ තිබෙද්දී බෝරා ප්රජාවේ ආගමික සමුළුවක් ලංකාවේ පවත්වන්නට තීරණය කෙරුණේ මොන වගේ කරුණු කාරණා සලකාගෙනද?
මේ සමුළුව ලංකාවේ පවත්වන්නට තීරණය කෙරෙන්නේ බෝම්බ ප‍්‍රහාර එල්ල වෙන්නට කලින්. මේක ලොව පුරා විසිරී සිටින බෝරා ප‍්‍රජාව වර්ෂිකව කරන සමරුවක්. ඒ සඳහා ලෝකයේ යම් රටක් තෝරාගන්නවා. බෝරා ප‍්‍රජාවේ සාමාජිකයන් බොහෝ විට පවුල් පිටින් එයට සහභාගි වෙනවා. මේ සැරේ ලංකාවේ මේක පැවැත්වුණේ දෙවෙනි වතාවට. මීට කලින් 2008 වසරේදිත් ලංකාවේදි මේ සමුළුව පවත්වා තිබුණා. මේක මුස්ලිම් ආගමික උත්සවයක්. බෝම්බ ප‍්‍රහාරවලින් පසුව ඇතිවූ තත්ත්වය නිසා මේක මෙහෙ පවත්වන්න පුළුවන් වෙයිද කියන සැකයක් තිබුණා. රජයෙන් සමුළුවට අවශ්‍ය ආරක්ෂාව සහ සියලූම අනුග‍්‍රහයන් දැක්වුවා නිසා සැක දුරලා මේ අවස්ථාව සාර්ථක කරගන්නට ඉඩ ලැබුණා.
මුස්ලිම් ප‍්‍රජාව මේ රටට ආගන්තුකයන් නොවෙයි. ඔවුන් පවත්වන ආගමික උත්සවත් නුහුරු හෝ නුපුරුදු දේවල් නොවෙයි. හජ් උත්සවය ඇතුළුව ඉස්ලාම් ආගමික උත්සව සඳහා රජයේ නිවාඩු දින පවා ප‍්‍රකාශයට පත්ව තිබෙනවා. මේ උත්සවය එහෙම එකක් නොවෙන්නේ ඇයි?
ඩාවුඩි බෝරා ප‍්‍රජාව කියන්නේ මුස්ලිම් ප‍්‍රජාවේ එක නිකායක්. ලෝකයේ මුස්ලිම් ප‍්‍රජාව ප‍්‍රධාන නිකාය දෙකකට බෙදෙනවා, සුන්නි සහ ෂියා කියලා. ඒ නිකායන් දෙකත් පසුව තවදුරටත් බෙදී ගිහින් ඇතිවුණු තවත් අනු නිකාය ගණනාවක් ලෝකයේ තිබෙනවා. ලංකාවේ ජීවත්වෙන බහුතර මුස්ලිම් ජනතාව සුන්නි. ඩාවුඩි බෝරා නිකායේ අපි අයත් වෙන්නේ ෂියා නිකායට. ෂියා නිකායෙත් අනු නිකායක් තමයි ඩාවුඩි බෝරා කියන්නේ. ලංකාවේ ඩාවුඩි බෝරා ප‍්‍රජාවේ ජනගහණය ඉතාම අල්පයි. එයින් බහුතරයක් ජීවත්වෙන්නේ කොළඹ. ඒ පිරිසත් 2500ක් වගේ සුළු පිරිසක්. ඩාවුඩි බෝරා ප‍්‍රජාව වගේම අපේ ආගමික උත්සවත් ප‍්‍රසිද්ධ නැත්තේ ඒ නිසා.
බෝරා ප්රජාවේ ආගමික පසුබිම සහ උත්සව ගැන යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?
ඉස්ලාම් ආගමික නායකතුමන් වෙන්නේ නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්තුමාණන්. එතුමන් තමයි දෙවියන්වහන්සේගේ පණිවිඩය ජනතාව අතරට මුලින්ම ගෙන එන්නේ. නබිතුමන්ගේ මුණුබුරා ඉමාම් හුසේන් අලෙයිහි වසල්ලම්තුමන්. නබිතුමාගෙන් පස්සේ දෙවෙනි පරම්පරාවේ ආගමික නායකත්වය දැරුවේ එතුමා. සතුරන් විසින් එතුමන්වත්, එතුමන්ගේ පවුලේ සාමාජිකයන්වත් ඉතාම අමානුෂික විදිහට ඝාතනය කළා. ඉරාකයේ කබාලා හි ඉමාම් හුසේන්ගේ අලෙයිහි වසල්ලම්තුමන් සිදු කළ ඒ ප‍්‍රාණ පරිත්‍යාගය සැමරීමයි ඩාවුඩි බෝරා ඇදහිල්ලේ වැදගත්ම අංගය වන්නේ. ‘අෂාරා මුබාරකා’ සමයේදී සෑම අයකුම එය සිහිපත් කිරීම සඳහා තම කාලය යොදවනවා. පවුලේ කටයුතු ඇතුළු අනෙකුත් සියලූ කටයුතුවලින් වැළකී සිටිනවා. ඒ කාලය දින 10ක්. එය තමයි පහුගිය දිනවල ලංකාවෙදි සිදු කෙරුණේ.
ඩාවුඩි බෝරා නිකාය ඉස්ලාමය නූතනයට ගැළපෙන ආකාරයට කියවා ගන්නා පිරිසක්
ඩාවුඩි බෝරා නිකාය අනෙකුත් මුස්ලිම් නිකායන්ගෙන් වෙනස් වෙන්නේ කවර ආකාරයෙන්ද?
ඩාවුඩි බෝරා නිකාය ඉස්ලාමය නූතනයට ගැළපෙන ආකාරයට කියවා ගන්නා පිරිසක්. වහාබ්වාදය වැනි පසුකාලීන මතවාද අපි බැහැර කරනවා. බෝරා ප‍්‍රජාවේ කාන්තාවටත් සමාන ආගමික නිදහසක් තියනවා. කාන්තාවත් පුරුෂයන් සමඟ පල්ලි යනවා. එක්ව යාඥා කරනවා. පුරුෂයන් සමව අධ්‍යාපනය ලබන්නට ඇයට නිදහස තියනවා. ඇඳුම පවා සම්ප‍්‍රදායික මුස්ලිම් කාන්තා ඇඳුමෙන් වෙනස්. අපේ කාන්තාවන් අඳින්නේ ඇහැට සෞම්‍ය ළා වර්ණයන්ගෙන් යුත් ඇඳුම්. ලොව පුරා බෝරා ප‍්‍රජාව ජීවත්වෙනවා. නමුත් කිසිම රටක කිසිම ආගමික අන්තවාදයකට අපි සහාය දක්වන්නේ නෑ. ත‍්‍රස්තවාදී සංවිධාන සමඟ සම්බන්ධකම් පවත්වන්නේ නෑ. ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ඉහළින්ම සිටිනවා. ඒ වගේම නව තාක්ෂණ ක්ෂේත‍්‍ර කෙරෙහිත් වැඩි නැඹුරුවක් දක්වනවා.
බෝරා සමුළුවේ ප්‍රමුඛ කාරණය වුණේ ආගමික දේශනා. මොනවද සමුළුව අතර තිබුණු ආගමික දේශනාවලින් කියැවුණේ?
සමුළුව පැවැත්වුණු කාලය පුරාම උදේ වරුව වෙන් කෙරුණේ පල්ලිය තුළ සිදු කෙරුණු ආගමික දේශනාවලට. බම්බලපිටියේ පිහිටි හුසෙයිනි මස්ජිද් පල්ලියේ දී අෂාරා මුබාරකා දේශානා මාලාවේ පළමුවැන්න පැවැත්තුවේ බෝරා අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්තුමා. පසුගිය වසර කිහිපය තුළ ඔහු ලද අත්දැකීම් මත මෙම දේශනා මාලාව එක මාතෘකාවක් යටතේ පමණක් පවත්වන බව එතුමන් කිව්වා. ඒ අනුව ඔහුගේ දේශනා මාලාව පදනම් වී තිබුණේ ඉමාම් අලි බින් අබි තාලිබ් ගේ සිට ඔහුගේ පුත් ඉමාම් හසන් දක්වා කළ දේශනාවලට. පියකු තම පුතා කෙරෙහි දක්වන ආදරය, ඔහු උසස්, අවංක හා ගුණවත් කෙනකු කිරීමට පියකුගේ ඇති අභිලාෂය, ඒ සඳහා අවශ්‍ය සදාචාරාත්මක හැසිරීම පිළිබඳ උපදෙස් සහ මඟ පෙන්වීමට එය පදනම් ව තිබුණා.
උඩඟුකම, කෝපය සහ තණ්හාව යන කාරණා තුනෙහි ඇති භයානක බව සහ නිරර්ථක බව පිළිබඳ උන්වහන්සේ අවධාරණය කළා. ඉමාම් අලි බින් අබි තාලිබ් පැහැදිලි කර ඇත්තේ ස්වයං අභිමානය සහ අධිමානය වර්ධනයට හා සංවර්ධනයට බාධාවක් බවයි.
මේ සමුළුව ගැන වැරදි මතවාද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුණ ආකාරය දැකගන්නට ලැබුණා. ඒවායින් යම් බලපෑමක් සිදුවුවාද?
බොහෝ වැරදි මතවාද ප‍්‍රචාරය කෙරුණා. ඒ ගැන අපි කනගාටු වෙනවා. සමුළුවට විවිධ රටවලින් විසි එක් දාහක් විතර සහභාගි වුණා. ඒ ආව කිසිම කෙනෙක් හිඟන්නන් නෙවෙයි. ඒ ඒ රටවල ස්ථාවර තත්ත්වයක සිටින ව්‍යාපාරිකයෝ. ඒ අය ආවේ මේ රට අල්ලගන්න නෙවෙයි. එවැනි අවශ්‍යතාවක් බෝරා ප‍්‍රජාවට නෑ. මේ සමුළුව ලංකාවේ තියන්න බැරි වුණා නම් ලෝකයේ වෙනත් කොහේ හෝ රටක තියනවා. ඒක නවත්වන්නේ නෑ. කොයි රටේ තිබුණත් සමුළුව නිසා ඒ රටට විශාල ලාභයක් ලැබෙනවා. අවිනිශ්චිත තත්ත්වයක් යටතේ වුවත් සමුළුව ලංකාවේ තියපු නිසා ඒ දිනවල සංචාරක ක්ෂේත‍්‍රයට විශාල ආදායමක් ලැබුණා. ඒක තවත් වැඩි වෙන්න තිබුණා ආව අයගේ විශ්වාසය සම්පූර්ණයෙන් ම තහවුරු වෙලා තිබුණා නම්. එහෙම වුණා නම් මේ අය සමුළුවෙන් පස්සේ රටේ විවිධ ප‍්‍රදේශවල වැඩි වැඩියෙන් සංචාරය කරනවා. තවත් ටික කාලයක් මෙහෙ ඉඳලා තමයි ආපහු යන්නේ. නමුත් වැරදි ප‍්‍රචාර නිසා පැමිණි බොහෝ දෙනෙක් සමුළුව අවසන් වූ වහාම රටින් පිටව ගියා. ඒ නිසා රටට ලැබෙන්න තිබුණු තරමක ආදායමකුත් අහිමි වුණා.
සමුළුවට පැමිණ සිටි බෝරා ප්‍රජාවේ අය පොලිසියට තරමක් සමාන නිල ඇඳුම් ඇදගෙන මාර්ගවල රථවාහන හසුරුවනවාත් සමාජ මාධ්‍ය මගින් හුවා දක්වා තිබුණා. මොකක්ද එහි සැබෑ තත්ත්වය?
සමුළුව පැවැත්වුණේ බම්බලපිටියේ අපේ ප‍්‍රධාන පල්ලිය කේන්ද්‍ර කරගෙන. ඒ වගේ කුඩා බිම් ප‍්‍රදේශයක දවස් දහයක් තිස්සේ විසි එක් දහසක ජනතාවක් ගැවසෙන කොට ඒ අය නිසි ක‍්‍රමවේදයකට හැසිරවුවේ නැත්නම් බරපතල ගැටලු ඇතිවෙනවා. ඒ නිසා සමුළුව සංවිධායකයෝ බොහොම නිශ්චිත සැලැස්මක් සකස් කරලා තිබුණා. ඒක ක‍්‍රියාත්මක කරන්න ස්වෙච්ඡා සේවයට බෝරා ප‍්‍රජාවේම පිරිසක් යොදවා හිටියා. ඒ අය විවිධ රටවලින් ආව, විවිධ ස්වෙච්ඡා සංවිධානවල අය. ඒ සංවිධානවල නිල ඇඳුම් තමයි ඒ අය ඇඳගෙන හිටියේ. මෙහෙ ලොකු උත්සවයක් තියන වෙලාවට රතු කුරුස සමාජයේ අය ඒ අයගේ නිල ඇඳුමෙන් ඇවිත් වැඩකරන්නේ, අන්න ඒ වගේ තමයි ඒ අය වැඩ කළේ. පොලිසිය යොදවා හිටියත් හැම තැනකම හැම දේටම යොදන්න තරම් පොලිස් නිලධාරින් නැති නිසා පොලිසිය කරන රථවාහන හැසිරවීම් වගේ කටයුතුවලටත් මේ අය සහාය දැක්වුවා. ඒක දෙගොල්ලන්ටම පහසුවක් වුණා. ඒවායේ පින්තූර අරගෙන තමයි ඔය දාලා තිබුණේ.
මේ සමුළුවට මස් සපයන්න රටේ ගව සංහාරයක් සිදු කළ බවට ඇතැම් පුවත්පත්වල වාර්තා පළ වුණා. වසු පැටවුන් ලෙඩ ගවයන් පවා එහිදී ඝාතනයට ලක්වෙන බවත් සඳහන් ව තිබුණා. එහි සැබෑ තත්ත්වය මොකක්ද?
ඉතාම ඉස්තරම් ආහාර තමයි සමුළුවේදි හැම කෙනෙකුටම ලබාදුන්නේ. ලෙඩ ගවයන්ගේ මස් ගැනීමට අපිට කිසිම අවශ්‍යතාවක් නෑ. එහෙම දේවල්වලට ඉස්ලාමයේ ඉඩකුත් නෑ. අපි ආහාරය වගේම ආහාර ගැනීම ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වුණා. පරිසරයට කිසිම අපද්‍රව්‍යයක් එකතු නොවෙන විදිහට ඒ කටයුතු සිදු කෙරුණේ. පිඟානට බෙදාගන්න ආහාර ඉතුරු නොකර කෑම තමයි අපේ සම්ප‍්‍රදාය. ඉතිරි කරලා කෑම අපතේ යවන්න බෑ. ඒකයි ඉස්ලාමය.
ආගමික දේශනාවලට අමතරව මොනවද මේ සමුළුවෙදි සිදු කෙරුණේ?
බෝරා ප‍්‍රජාවේ සංස්කෘතික වැඩසටහන් තිබුණා. විවිධ රටවලින් ආව අය එකිනෙකා දැන හඳුනාගැනීම, එක්ව ක‍්‍රියාකාරකම්වල යෙදීම ඒවායෙදි සිදුවුණා. විවිධ රටවල ජීවත් වුණත් අපේ ප‍්‍රජාව කතා කරන්නේ එකම භාෂාව. විවාහ සිදුවෙන්නේ අපේ ප‍්‍රජාවේ අය සමඟම විතරයි. ව්‍යාපාර කටයුතු සඳහා හවුල් කරගන්නෙත් අපේම අය විතරයි. ඒ නිසා ලෝකයේ කොහේ හිටියත් ප‍්‍රජාව අතර දැන හඳුනාගැනීම් තහවුරු කරගැනීම අවශ්‍ය වෙනවා. ඒවාට පසුබිමක් මේ වැඩසටහන්වලින් හදලා තිබුණා.