පෙම් කළ වරදට සිර ගත කෙරුණු
මුහුන්තර් – සාදිනා
පෙම් කිරීම සිර දඬුවම් ලැබිය හැකි තරමේ වරදක් වන්නේ ඔවුන් දෙදෙන ජන වර්ග දෙකකට අයත් වීම හේතුවෙනි. ඒ සිදුවීම මනිරත්නම්ගේ බොම්බේ චිත්‍රපටයේ මෙනි. වාර්ගික සංහිඳියාව වෙනුවෙන් දැරෙන ප්‍රයත්නවලට අද මෙන් ම එදා ද අනේක විධ බාධා එල්ල වන බවට මේ කතාව මහඟු උදාහරණයකි.
අරවින්ද් ස්වාමි හා මනීෂා කොයිරාල සේකර් හා ශයිලා ලෙස රඟ පෑ මනිරත්නම්ගේ බොම්බේ චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනා ඔවුන්ගෙන් විමසුවේ “මේ උඹලාගේ කතාව නේද?” කියායි. ඒ තරමටම සමාන වන කතා දෙකක් වන නමුත් ප්‍රේමය වෙනුවෙන් වාර්ගිකත්වය ඉක්මවා කැපවීමේ සීමාවක් නැති බව දැන හුන් හා සිරගත වන්නටද සිදුවූ පෙම්වතුන් යුවලකගේ කතාවක් ලෙස ඔවුන්ගේ ලාංකිය ආදර අන්දරය බොහෝ ඉහළින් සටහන් වේ. ඔහු විනායග සුන්දරම් ශ්‍රී මුහුන්තර් බලංගොඩය. ඇය කෝට්ටගොඩ ආරච්චිලාගේ මොහොමඩ් රෂීඩ් සිත්ති සාදිනා නුවර හතරලියද්දේ ඉපිද බලංගොඩ සිය මිත්තණිය සෙවණෙහි වැඩුණාය. නමට සිංහල ඌරුව සහිත වාසගමක් එකතුවුණේ ඇගේ පිය පරම්පරාව කන්ද උඩරට රජ්ජුරුවන්ගේ රාජකාරි වලට බැඳී සිටි ගම් පාලකයින් වූ නිසාය. පෘතුගීසි තර්ජන සමග උඩරටට සේන්දු වූ ඉස්ලාම් භක්තිකයන් සිංහල කතුන් හා ආවාහ විවාහ කරගනිමින් සුහදව ජීවත් වූ කාලයක් ලංකා ඉතිහාසයෙහි වන බැවින් එය ඇගේ උරුමය වුවත් නුවරට වඩා වෙනස් බලංගොඩදී ඒ සියල්ල වෙනස් විය. මිත්තණියගේ නිවසේ වූයේ දැඩි ආගමික පරිසරයකි. ඔවුන්ගේ අපේක්ෂාව වූයේ ඇය අන්‍ය වාර්ගිකත්වයක් හා නොමුසු පතිනියක වනු දැකීමයි. එහෙත් සිත්ති සාදිනාගේ ඉරණම ලියන්නට හවුල්කාරයෙක් බලංගොඩ සිටි බැවින් සියල්ල ආදරයේ නාමයෙන් වෙනස් විය.
සුපිපුණි ආදර මල්පතිපතිනියන් ලෙස තමන්ගේම වහලක් යට මුණ ගැසෙන්නට පෙර වැලිකඩ සිරගෙදර උස් තාප්ප අතරදී පෙම්හසුන් ලියන්නට සිදුවන ඒ ගමන අරඹන්නට දෝ මුහුන්තර් නුවර හා කොළඹ පාසල් වලින් මිදී සිත්ති සාදිනා උගනිමින් සිටි බලංගොඩ ජෙයිලානි මහා විද්‍යාලයට ආවේය. “ජබ්බාර් ප්‍රින්සිපල්ගෙ කාලෙ මං ආවෙ මැත්ස් කරන්න හිතාගෙන. අරයා, සාදිනා හිටියෙ අපේ මල්ලිගෙ පංතියෙ. එයා ලස්සන කෙල්ලක්. ඒත් මට එයාගෙ විශේෂයක් තිබ්බෙ නෑ මුල් දවස්වල.” එහෙත් එදාද ඔහු දුටුමතින් දීප්තියක් නැගෙන්නට ඇතැයි සිතියි හැකි ඇගේ කාන්තිමත් දෙනෙත එළිය කරමිනි සාදිනා මුහුන්තර් ගැන තෙපලූයේ. “මම මුස්ලිම් ඒත් මොන හේතුවකටද දන්නෙ නෑ මටනම් මේ දෙමළ කොල්ලා ගැන දැක්කා දවසෙම විශේෂයක් දැනුනා. එයා හරි උසයි. වෙන කවුරුවත් හිටියෙ නෑ එයා වගේ. ඔව් ගෙදරට හිරවෙලා හිටිය මගේ හිතේ ඒ ඇතිවුණේ කැමැත්තක් ආදරයක් තමයි. ඒත් මං හිටපු ආගමික පරිසරයේ හැටියට වචනයකින්වත් එළිකරන්න බයයි.”
මුහුන්තර් සුහදශීලී හා පාසලේ යුවතියන් හට නිතර විහිළු කරන තරුණයෙක් වූ අතර ඇය ඔහුගේ විශේෂ ඉලක්කයක් නොවූවද සාදිනා ඒ විහිළු අපේක්ෂා කළාය. දිවා කල පාසලෙහිදී ඔහු රුව සොයන ඇය රැයෙහි සුගන්ධවත් සිහිනවලද ඒ රුව දුටුවාය. එහෙත් ඔවුන්ගේ පාසල්කාලය ගෙවෙන තුරු මං ඔයාට ආදරෙයි කියන්නට ඇයට අවස්ථාවක් නොලැබුණි. ඒ නිමේශය උදාවෙන්නට පෙර ඇයට ගුරු පත්වීමක් ලැබුණි. “සයන්ස් ටීචර් කෙනෙක් හැටියට මට ලැබෙන්න ගියෙ දුර ඉස්කෝලයක්. මුහුන්තර්ගෙ අම්මා තමයි එයා ප්‍රින්සිපල් වෙලා හිටපු සී.සී දෙමළ ඉස්කෝලෙට මාව ගත්තෙ. අම්මට එහෙම කරන්න කියලා තියෙන්නෙ පුතා තමයි”
“මං අම්මට එහෙම කිව්වෙ මෙයා ගැන විශේෂයක් තිබිලා නෙමෙයි. අපේ ඉස්කෝලෙ ළමයෙක්, ඒ වගේම සුහදශීලී කෙනෙක් නිසා. දැන්නෙ දන්නෙ එතකොටත් එයා මට ආදරය කරලා කියලා. ” මේ ඒ පරිච්ඡේදය පිළිබඳ ඔවුන්ගේ අදහස් සංකලනය වන අයුරුය.
ඇය වෙනුවෙන් ඔහුගේ හද සසල වූයේ ඉගැන්වීම සඳහා යන මුල්ම දිනයේ සාරියක් හැඳ ඔහු බලන්නට නිවෙසට පැමිණීම නිසාය. එදා නිවසේ නොසිටි මුහුන්තර්ට පුංචි අම්මලා විහිලු කළේ අන්න ඔයාගෙ කෙල්ල ආවා කියමිනි. “ඔන්න මටත් ටිකක් ආදරේ දැනෙන්න පටන් ගත්තා. ඒත් කියන්නෙ කොහොමද එයා මුස්ලිම් කෙල්ලක්.” මව පාසලට ඇරලීම සඳහා යන අතරවාරයේ දකින මේ රුවැති ගුරුවරිය ගැන දිනෙන් දින මෝදුවන ආදරය නිසා ඔහු තීරණය කළේ මිතුරෙකු මාර්ගයෙන් ඇයට සිතැඟි දැනුම් දීමටයි. මිතුරාගේ විමසුමට ඇගේ පිළිතුර වූයේ මම කැමතියි ඒත් මේක කෙරෙයිද යන්නයි. ඒ පිළිතුර නිසා මුහුන්තර් සිතුවේ මෙය කෙසේ හෝ සැබෑ කරගත යුතු ආදරයක් බවයි. ඉන්පසු ඔවුන් පෙම්වතුන් ලෙස මුණගැසුණාහ. දෙදෙනාගේ වාර්ගිකත්ව වෙනස පිළිබඳ ගත් තීරණය වූයේ “ඔයා ඔයා විදියටත් මම මම විදියටත් හිඳීමයි.”
ආදර කතාවකාලය කටකතා හා එක්ව ඔවුන්ගේ ආදර කතාව වැඩිහිටියන්ට දැනුම් දෙන්නේය. සාදිනාගේ ආච්චි අම්මාට හා මාමලාට පෙණුනු විසඳුම වූයේ කවුරුන් හෝ සොයා ඇය විවාහ කරදීමයි. “මාමලා මට හොඳටම බැන්නා. එයාලා හිතුවේ නෑ මම මෙහෙම කරයි කියලා.” එහෙත් සාදිනා බලන්නට ආ සෑම මනමාලයෙකුම අවසානයේ මුහුන්තර් මුණ ගැසුණහ. ඒ ඔවුන් පිළිබඳව පැතිරී ඇති කතාව සත්‍යදැයි විමසන්නටය. “මං කිව්වා ඇත්ත එයාව බඳින්නෙ මමයි කියලා. මට ඒ නිසාම එයා ගැන අනුකම්පාවකුත් දැණුනා. ඔය එක්කම අම්මා එයාව ට්‍රාන්සර් කළා ජෙයිලානි විද්‍යාලෙට. ඊටපස්සෙ අපි දැක්කෙ යන එන වෙලාවල විතරයි. යාලුවො ලියුම් හුවමාරු කරගන්න උදව් කළා.”
රේඩියෝවට කවි ලියූ ඇය ඔහුට විචිත්‍ර වූ ලිපි ලීවාය. ඔහු ලියූ සෑම ලිපියක්ම අද දක්වාම පරිස්සම් කළාය. ඔහු දිනක් රැයක එළිමහනට විත් ඇයට ලිපියක් ලියන අතරේ දුටු සඳ පලුව හා තනිතරුව තඩදාසියේ සිත්තම් කළේ සඳ පලුවෙහි ඇමිණී සිදුරු වූ හදවතක්ද සමගය. “මට මේක හිතට හරිම වධයක් වුණ නිසාම දවසක් ගෙදර හැමෝටම කතා කරලා කිව්වා මට එයාව ඕන කියලා.” මුහුන්තර් එසේ පවසා දින කිහිපයකට පසු උදෑසන පිබිදෙන විට තේ කෝප්පයක්ද රැගෙන ඔහුගේ ඇඳ මත වාඩි වී සිටියේ සාදිනාගේ මිත්තණයයි. “වෙනදා අම්මා ගේන තේ එක අරගෙන ඇවිත් හිටපු එයාගෙ අතේ කුරාණය තිබුණා. මං කතා කළාම අපේ අම්මා ආවා. ආච්චි කියනවා තේ බොන්න පුතා කියලා. මං කේන්තියෙන් ඇහුවා මේ මොකද කියලා.” මිත්තණිය මුහුන්තර් හමුවන්නට පෙර උත්සාහ ගෙන තිබුණේ සාදිනා ලවා කුරාණයේ අත තබා දිවුරුම් ගැනීමටයි. ඒ මේ පෙම් කතාව අවසන් කිරීම උදෙසායි. ඇය එය ප්‍රතික්ෂේප කළ විට මිත්තණිය හිමිදිරියේම පැමිණියේ මුහුන්තර්ගෙන් දිවුරුම ගන්නටයි. “ආච්චි කියනවා එයා දිවුරුවා ඔයත් දිවුරන්න කියලා. මං සැරෙන් බෑ කිව්වම එයා යන්න ගියා. මට දැණුනා මේ බොරුවක් කියලා”.
ප්‍රේමය ගින්දරයඅවසානයේ තීරණාත්මක මොහොත එළඹියේය. නිමාවට හෝ නව ඇරඹුකට අවශ්‍ය පසුබිම සැකසීම වෙනුවෙන් ඔහු මෙතෙක් ඇයට දුන් ලිපි ඇතුලු සියල්ල යළි ඉල්ලා ගත්තේය. සියල්ල සතුටුදායක වුවහොත් විවාහය ලියාපදිංචි කරන්නට සැළසුම් කළේය. “එදා සාදිනා ආවම අපි වාහනයක් ඇතුළට වෙලා කතා කළා. මං කිව්වා තීරණයක් ගමු කියලා. උත්තර නෑ. එහෙනම් අපි අදින් මේ සම්බන්ධෙ නවත්වමු කියලා කිව්වම එයා කියනවා එපා මං ඔයත් එක්ක එන්නම් කියලා.” තමන්ගේ උත්තරීතර ප්‍රේමය නිමා කරමු යැයි යෝජනා කරද්දී දැණුනු ඉහිලිය නොහැකි දුක නිසා ඇය ඔහු හා රහසේ විවාහ වන්නට තීරණය කළාය. “බැන්දට ගෙදර එන්න බෑ. අපි දන්නවා ඇවිලෙනවා කියලා. ගියේ හල්දුම්මුල්ලෙ අපේ යාලුවෙක් වුණු රොකී ළඟට. 93 පෙබරවාරි 16. ඒත් සාදිනාගෙ කට්ටිය දැනගෙන එහේ ආවා. රොකී අපිව පරිස්සම් කළා. මගේ අය කඩු ගල්කටස් අරන් ඇවිත් දෙන්නව බලංගොඩ ගෙනාවා. අපේ ගෙදරට.” එහෙත් මාසයක් ගතවන්නට පෙර සියල්ල රුදුරු වීම ඇරඹෙන්නේ බලංගොඩ පොලිසියෙන් ලැබෙන කැඳවුම නිසාය. පොලීසියට යන ඔවුන් දකින්නේ ඇගේ නම යෙදූ ඔවුන් විවාහ වන්නට පෙර දිනයක් සහිත විවාහ සහතිකයකි. එය මුස්ලිම් නීතියට අනුව සිදුවූ විවාහයකි. “ඒක බොරු එකක්. දැන් චෝදනාව මම බැඳපු කෙනෙක්ව ගෙනිහින් කියලා.” මද වෙලාවකින් මුහුන්තර්ගේ පාර්ශ්වය පොලීසියට නීතීඥයකු ගෙන්නුවේය. ඇගේ පාර්ශ්වයද එකටඑක කළේය. පොලීසිය ඉදිරිපිට මාර්ගය අවහිර වූයේ සුදු හිස්වැසුම් සහිත හා රහිත ඔලුගෙඩි පිරෙමිනි. “පොලීසියේ ලොක්කා කිව්වා ජාතිවාදී කෝලාහලයක් ඇතිවෙන නිසා අපිව ඇරෙස්ට් කරන්න කියලා. සාදිනාගේ පවුලෙ සල්ලිකාරයො තමයි මේ හැමදේම ප්ලෑන් කරන්නෙ. ඒ කාලෙ බදාදා විතරක් නඩු අහන බලංගොඩ උසාවිත් ඉවරයි. ආයෙ උසාවි දානවා නම් සිකුරාදා හැබැයි රක්වානෙ. අපිව දැම්මා පොලිස් කූඩුවට. එතැන ඉඳලා සිද්ධියට පැටලුණා අබුසාලි ඇමතිතුමා, මොහාන් අප්පො, හැමිල්ටන් ෆොන්සේකා. රෑ එකට විතර පක්ෂ දෙකෙන් දේශපාලනය කරපු අප්පොයි, හැමිල්ටන් මහත්තයයි කරට අතදාගෙන පොලිසියට ඇවිත් කිව්වා මේක අපරාධයක් අපි උඹලා වෙනුවෙන් ඉන්නවා කියලා.” එහෙත් ඒ වනවිටත් ප්‍රේමය ඇවිලූ ගින්න පැතිරෙමින් තිබුණි. පොලීසිය ඉදිරිපිට මාර්ගය යුධ පිටියක් වෙමින් සිංහල, දෙමළ හා මුස්ලිමුන් ගුටිබැට හුවමාරු කරගනිද්දී ඔවුන්ගේ විවාහ තෑග්ග ලෙස බලංගොඩ නගරයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට ස්ථානාධිපතිවරයා තීන්දු කළේය. “මුස්ලිම් කොස්තාපල් කෙනෙක් පොලිසියෙ හිටියා. එයාට ඇඬුණා මේක අසාධාරණයි කියලා. සිකුරාදා අපිව හෑන්ඩ්කප් දාලා රක්වානෙ උසාවියට ගෙනිච්චා. ජජ් මුස්ලිම්. එයා හිටියෙ අපිට විරුද්ධව වගේ. ඒත් ගොඩක් ලෝයර්ස්ලා අපි වෙනුවෙන් කතා කළා. ඒ වෙලාවෙ. නොමිලෙ. පවිත්‍රා වන්නිආරච්චිත් නැගිට්ටා. ලෝයර්සලා ඇහුවා සාදිනා කළිං බැන්දානම් කෝ ඒ මනුස්සයා කෝ පොටෝ කියලා. එහෙම තියෙද්දි අපි ජාතිවාදය අවුලනවා කියලා පොලිසිය කිව්වා. ජජ්ගෙ තීන්දුව දවස් දාහතරකට වැලිකඩ රිමාන්ඩ්.”
ප්‍රේමයේ සුවඳ වැලිකඩට“වැලිකඩ යද්දි දවස් දෙකක් තිබ්බෙ රත්නපුර කූඩුවේ. පිරිමි පැත්තෙ හාමුදුරු නමකුත් හිටියා. රෑ සාදිනාට බඩේ අමාරුවක් හැදිලා බලන්න කෙනෙක් නෑ. එයා කෑ ගහනවා. හාමුදුරුවෝ එයා වෙනුවෙන් ජේලර්ලට කුණුහරුපෙන් බැන්නම තමයි ආවෙ.” වැලිකඩට ගිය බන්ධනාගාර බසයේද මනුස්සකම තිබුණි. ඔවුන්ගේ පෙම් කතාව අසා දෙදෙනාට සමීපව අසුන්ගන්නට සැළැස්වූ ජේලර්ලා සිටියහ. “රක්වානෙ උසාවි කූඩුවේදි මුණ ගැහුණා වැලිකඩින් ආපු මොහොමඩ්. එයා අතේ ඇතුළට රුපියල් සීයකුත් යවාගත්ත හින්දයි අහම්බ යාලු කමටයි රැග් නොවී බේරුණා. මගේ යාලුවෙක්ගෙ මාර්ගෙන් බන්ධනාගාරෙ ලොකු මහත්තයත් අපි ගැන බැලුවා. මොහොමඩ් නම් මාර හොඳ මිනිහෙක්.” වැලිකඩ බිත්ති අතර වෙන් වෙන්ව සිටි මුහුන්තර් හා සාදිනා එකතු කළේ පෙම් හසුන්ය. තැපැල්කරුවන් වූයේ හිතවතෙකු ලවා රහසේ ගෙන්වාගත් සිගරට්ටුවකින් සංග්‍රහ ලද ජේලර් මහතුන්ය. “පස්සෙ අපේ සිද්ධිය දුර දිග ගියා හැමෝම කතා වුණා. අපිව අඬගැහුවා හයිකෝට්ස්. එහේදි නඩුකාර උන්නාන්සෙ කිව්වා අපිට බරපතල අසාධාරණයක් වෙලා. වහාම නිදහස් කරන්න. කලබලයක් වුණොත් ඒවට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්න කියලා.”
දැන් අවුරුදු විසි ගණනකට පසු ඔවුන්ගේ කතාව ඔහු ඔහු වෙමින්ද ඇය ඇය වෙමින්ද ගලා යන්නේ විරෝධතා කිසියම් තරමකට සමනය කරමිනි. “ඉස්සර තරම් සාදිනාලගෙ පැත්තෙනුත් ප්‍රශ්න නෑ. අපේ ගෙදරදී මං එයාව ආරක්ෂා කළා. එයා තවමත් ඉස්ලාම්. අපේ අම්මලා කිව්වා. එයා තැල්ල බඳින්න ඕන කියලා. මං එයාගෙන් ඇහුවාම එයා බෑ කිව්වා. ඒ ආදරේ ඉස්සරහ මට ඒක නූල් කැල්ලක් විතරයි. මං එයාව අනුමත කළා”. මුහුන්තර් එසේ පවසද්දී සාදිනා පවසන්නේ එදා තැල්ලේ වටිනාකම දැන සිටියේ නම් ඔහු වෙනුවෙන් එය පළඳින බවයි. “මුස්ලිම් කෙල්ලක් වුණු මට ගොඩාක් ප්‍රශ්න ආවා. අදටත් සමහරු බලන්නෙ වැරදියට. මේ සමාජය පුරුදුවෙලා නෑ අපේ වගේ අත්දැකීම් භාරගන්න. මං හරි හෝ වැරදි කියන්න මට බෑ. ඒත් ආදරයට සීමා නොතකා හරින්න පුළුවන් කියලා මම දන්නවා”. සාදිනා එසේ පවසන්නේ මුහුන්තර්ගේ දෙනෙත් දෙස බලමිනි.
මුහුන්දන් දැන් යහපත්, සාධාරණ ව්‍යාපාරිකයෙකි. බිරිය සාදිනා දරු දැරියන්ගේ නැණැස පාදන ගුරු වෘත්තියේ ම තවමත් කටයුතු කරයි. ඔවුනට දරුවන් දෙදෙනෙකි. පුතු ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරා එහි රැකියාවක නිරත වෙයි. දියණිය මවුපියන් සෙවණේ ය. මේ දෙදෙනාට ම ජාති, ආගම් පවුරුවලින් එපිටි නිදහස් ලොවක අරුණලු දැකීමට මේ මවුපියන් නිදහස් කවුළුවක් විවර කොට දී තිබෙයි.