Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ඉතිහාසය පුනරුච්චාරණය නොවීමටනම්
කළ යුත්තේ කුමක් ද?

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ කාලයක් තිස්සේ කැකෑරෙමින් තිබූ වර්ගවාදී ආකල්ප, දේශපාලන උසිගැන්වීම් සමඟ පුපුරා හැළිණි. අවසන සිදු වූයේ ජූලියට පෙරාතුව කළු මැයි මාසයක් ද ලාංකීය ඉතිහාසයේ අලුතින් සටහන් වීම ය. ඉතිහාසය පුනරුච්චාරණය වීම යළිදු වරක් නොවන්නටනම් ‘කළ යුත්තේ කුමක් ද?‘ යන්න ගැන සංවේදී මිනිසුන් තිදෙනකු දැක් වූ අදහස් සමුදායයකි මේ.

11.06.2019  |  
කොළඹ දිස්ත්‍රික්කය
– බී.එම්.සී දසනායක – වෛද්‍ය අධිකාරි, මූලික රෝහල දියතලාව

මේ වෙනකොට රටේ පවතින තත්ත්වය ගැන පුරවැසියෙක් විදියට මොකද හිතෙන්නේ?

රටට මෙහෙම වෙන එක හොඳ නැහැ. මිනිස්සුන්ගේ නිස්කලංක ජීවිත වෙනස් වෙලා හැම මනුස්සයම තැති ගත් අය බවට පත්වෙන කොට රටේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය නැති වෙනවා. එතකොට රට ක්‍රමයෙන් අගාධයට යනවා. ඒ නිසා වහාම මේ තත්ත්වය සමථයකට පත්වෙන්න ඕන.

මේ තත්ත්වය සමථයකට පත් කරන්න මොනවද කරන්න ඕන.

ඒ වෙනුවෙන් කරන්න ඕන එකතු වෙලා ජීවත් වෙන එක. කවදාවත් වෙන් වෙලා ප්‍රශ්න විසඳන්න බැහැ. මුල ඉඳලාම වෙන් වෙන්න අවශ්‍ය පසුබිම හදලා යමක් වුණාම අනේ අපොයි කියනවා. මුල ඉඳලම කරන්න තිබුණේ මිනිස්සුන්ට වෙන් වෙන්න පසුබිම හදන්නෙ නැතිව එකඟතා හදන එක. ආගම හා ජාතිය යොදාගෙන මිනිස්සු වෙන් කළේ දේශපාලකයෝ. මතකනෙ කලු ජූලිය. එකිනෙකා මිශ්‍ර විවාහ වෙලා හිටපු දෙමළ සිංහල මිනිස්සුන්ටත් බයෙන් ඉන්න වුණා. ඇයි බැරි අතීත සහජීවනය මතක් කරගන්න. මිශ්‍ර පාසල් හදන්න. වෙන්වීම් වලට ඉඩ නොදෙන පරිසරයක් හදන්නයි ඕන. සංස්කෘතික වෙනස්කම් තිබුණු පලියට කිසියම්ම හෝ ජන පිරිසක් සමාජයෙන් අතු ගාලා දාන්න බෑ. අපි මේ වෙනුවෙන් ක්‍රියාකාරීව වැඩ කරලා නැහැ. සාමූහික පූර්වගාමී වැඩපිළිවෙලක් නැහැ. දැන් බලන්න සමහර මාධ්‍ය අවිචාරවත්ව වැඩ කළාම එකට ඉන්න මිනිස්සුත් භේද භින්න වුණ උදාහරණ තියෙනවා.

-ළහිරු කිතලගම, කිවියර

මේ වෙනකොට පවතින තත්ත්වය රටේ අනාගතයට කොහොම බලපායිද?

මේ සිදුවෙමින් පවතින දේවල් රට අඳුරට ගෙනයන්න හේතු වෙයි. අපිට කිසිම සාධනීය අනාගතයක් පේන්න නැහැ. පාස්කු ප්‍රහාරය අවස්ථාවේ අපි මුහුණ දුන්න විදිහ යහපත් වුණත් පශ්චාත් තත්ත්වය බලද්දි පේනවා හැමෝම තමන්ගෙ දේශපාලන අරමුණු වෙනුවෙන් මිනිස්සුන්ගෙ හැඟීම් අවුස්සනවා. 21වෙනිදා ඉවසලා හිටපු මිනිස්සු ඊට පස්සෙ හැසිරුණු විදිහ ජාතිය ආගම වගේ හැඟුම්බර දේවල් ආමන්ත්‍රණය කරලා කරපු මෙහෙයුම්. ඒවා බල ව්‍යාපෘති. දේශපාලනය ගැන සවිඥාණික නැති මිනිස්සු මේවට අහු වෙනවා. ඒ ව්‍යාපෘති රටේ ආර්ථිකයටත් බලපානවා. සමහර කර්මාන්තවලටත් මේවා දැඩි ලෙස බලපාලා තියෙනවා.

ගැටලුව විසඳගන්න ඕන ඇහැට ඇහැක් දතට දතක් න්‍යාය අනුව බව සමහරු හිතනවා. ඒ ගැන මොකද හිතන්නෙ?

මං සිංහලයෙක් විදියට කියන්නෙ ප්‍රචණ්ඩත්වය හා මර්දනයෙන් ප්‍රශ්න විසඳ ගන්න බැහැ කියලා. මගේ අධ්‍යාත්මය පෝෂණය වෙන්නෙත් බෞද්ධ දර්ශනයෙන්. ඒ දර්ශනය අනුව අනිකා තේරුම් නොගෙන, අනෙකාගෙ දුකට උණු වෙන හදවත් නැතිව, සහකම්පනයක් නැතිව මේ වගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න බැහැ. අනෙක් උන් අතුගාලා දාලා රට හදන්න කියන අය කාටද මේ රට හදන්නෙ. තමන්ගෙ ආගම බේරගන්න ජාතිය බේරගන්න කෑගහන හැමෝගෙන්ම මං අහන්නෙ තමන් ආගමික ප්‍රතිපදා අනුව හැසිරෙනවද කියලා. බෞද්ධයෙක් විදියට අපිත් මුලින්ම කරන්න ඕන සතර  බ්‍රහ්ම විහරණයට අනුව හැසිරෙන එකයි. මුලු ලෝකයම මේ වෙලාවෙ අපි දිහා බලා ඉන්නවා. තමන් ජනාධිපති වෙන්න ඕන අගමැති වෙන්න ඕන කියලා හිතාගෙන සමහරු ගහන ගේම් මේ අස්සෙ තියෙනවා.

– ප්‍රගීත් රත්නායක, චිත්‍ර ශිල්පී

කාලයක් තිස්සෙ ඇතිවෙමින් තිබුණු උසිගැන්වීම් පුපුරා ගියා පාස්කු ඉරිදා ප්‍රහාරය එක්ක. දැන් අපි මොනවද කළ යුතු වෙන්නෙ?

මනුස්සයෙක් හැටියට මං කියන්නෙ සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම මෙතන දි අසමත්. හියුමන් කියන කෑල්ල ඇතුළෙ මොකක්දෝ ෆේලියර් එකක් මේ රටේ තියෙනවා. දේවල් ලිහාගන්න ඉස්සරවෙලාම අපි තේරුම් ගන්න ඕන මානවවාදී කතිකාව ඇතුළෙ අපේ අසමත් බව. මේක වෙන ලෝකෙකින් ආපු කවුරුවත් කරපු දෙයක් නෙවෙයිනෙ. ලොකු ව්‍යසනයක් හිස් බවක් එක්ක අපි මනුස්සයො හැටියට දුරස් කරන්න අපේ ගෝත්‍රික බව, අනෙකා නුරුස්සන බව පොලා පැනීම හේතුවක්. ආගම, ජාතිය, කුලය පැත්තකින් තිබ්බම අද අත්විඳින මානවවාදයේ අසමත් බව පොදුවේ අපි හැමෝටම තර්ජනයක්. සමකාලීන සමාජය විග්‍රහ කරන්න බැහැ මේ වෙලාවෙ වෙන සිදුවීම් පැත්තක තියලා. අපි හුස්ම ගන්නවා වගේ දෙයක් මේ මොහොතේ සිදුවීම් සමාජයට බලපානවා කියන එක. ඒවට සවිඥාණික නොවී සමාජය තේරුම් ගන්න බැහැ. කලාකරුවො හැටියට අපි මුලින්ම කරන්න ඕනත් වෙන දේවල් කතා කරන එක නෙවෙයි මේ මොහොත කියවා ගන්න එක. අනෙක් හැමෝම කරන්න ඕනත් මේ මොහොතට සවිඥාණික වීම. අපේ මේ භූමියේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒක භෞතිකයි. අපිට කොහොමත් එය මඟ හැරලා ගමනක් යන්න බැහැ.

මේ ගැටලුවට පිළියම පහර දීමද?

අනේ නැහැ. ඓතිහාසිකව අපි අනන්‍යතාවලට එකඟවෙලා තියෙනවා. අපි හැමෝම මොකක් හරි ආගමකට අයිතියි. මං විශ්වාස කරන්නෙ ආගම් හැම එකකම කාර්ය මිනිස්සු හික්මවීම කියලා. ඒත් මොන ආගම වුණත් ඒ තුළ අන්තවාදී නොහික්මුණු ප්‍රචණ්ඩ අය ඉන්න පුළුවන්. මුස්ලිම් වුණත් බෞද්ධ වුණත් එහෙමයි. මේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගත්තම ඒක අන්තවාදී මුස්ලිම් පිරිසකගෙ වැඩක්. ඒ සිද්ධිය කොහෙත්ම අහිංසක නැහැ. නමුත් ඊට පස්සෙ සිංහල බෞද්ධ හෝ කතෝලික සමාජයේ සමහරු හැසිරුණු විදියත් අහිංසක නැහැ. මහ ජාතිය කියලා හිතාගෙන අපිටත් ශුද්ධවන්තයො වෙන්න බැහැ. අපිත් ඓතිහාසිකව වැරදි කරල තියෙනවා. මේ මොහොතෙත් වැරදි කරමින් ඉන්නවා. පෙරළා පහරදීම ලෙයට ලෙය කියන්නෙ විසඳුම නෙවෙයි. සමහර වෙලාවට අපි දැනුවත්ව දුර්වල වෙන්න ඕන. දැනුවත්ව දුර්වල විය යුත්තේ මහා සමාජය වෙනුවෙන්මයි. සමහර දේවල්වලට උත්තර හොයද්දි එහෙම තමයි. මස් රාත්තලම ඉල්ලන්න බැහැ. සහජීවනය උදා කර ගනිද්දි අනෙකා දරා ගැනීම, ඉවසීම වෙනස්කම් කියවීම වැදගත්. ඒ කියවීම තුළන් සමහර ප්‍රශ්න විස‍ඳගන්න පුළුවන්. මං ඉස්සරහ ඉන්නෙත් මනුස්සයෙක්. ඌ මට වඩා වෙනස් වුණත් මං වෙනස් වුණත් අපි දෙන්නම භෞතිකව එකයි. අපිට සමාජය අන්දපු දෘෂ්ටිවාද නිසා තමයි මේ පීඩනය. ඒක ගැලෙවුවම හරි සැහැල්ලුයි කියන අදහසයි ඇති කර ගන්න ඕන.

හඬ පටයට සවන් දෙන්න.