ජාතියට වඩා වටින්නෙ
මනුස්සකමයි විශ්වාසයයි
දසක තුනක දේශපාලන අත්දැකීමෙන් මෙන්ම ව්‍යාපාරික අත්දැකීමෙන් ද පොහොසත් අන්සාර් ජීවිතයේ අප්‍රමාණ කඩාවැටීම් මැද විශ්වාසය තබා සිටින කණ්ඩායම් දෙකකි. එකක් සිංහල පාරිභෝගිකයා ය. අනෙක් කණ්ඩායම සිංහල ඡන්ද දායකයා ය.
සුවිසල් නගරයක් මධ්‍යයේ මහා පෙනුමැති කඩ සාප්පුව ඉදිරිපිටට වී සිංහල පුවත්පතක් කියවන මුස්ලිම් මිනිසෙකි. අඩසියවසක් පරණ හෝරා යන්ත්‍රය වටරවුම මැද සිට ඔහුට වේලාව දහවල් දහය පසුවි ඇති බව පෙන්වයි. පදිකවේදිකාවේ යන්නවුන් හැමෙකෙක්ම ඔහු හා සිනාසී යයි. ඉඳහිට ඒ අතර කෙනෙක් සාප්පුවට ගොඩවදින්නේ කඩ හිමිකරුගෙන් සාමදාන විනිශ්චයකාර සහතිකයක් ලබාගැනීමට ය. සාප්පුවේ ඇති ඇඟලුම්, විදුලි උපකරණ හා තෑගි භාණ්ඩ ආදිය මිලට ගන්නට ඒ වනවිටත් කිසිවෙක් පැමිණ නැත.
‘‘මොකද මේ වෙලා තියන්නේ?‘‘ ප්‍රශ්නය විය.
‘මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ. ඒ අය කඩවල්වලට දවසක් දෙකක් ආවේ නෑ. ඒ වෙලාවේ ඇති වූ තත්ත්වය මත එහෙම වුණාට දැන් ජනතාව ජාතිභේදවල එල්ලීගෙන නෑ.‘‘ ඔහුගේ පිළිතුර විය.
ඔහු අනුරාධපුර නාගරික මන්ත්‍රි එම්.පී.එම්.අන්සාර් ය. දසක තුනක දේශපාලන අත්දැකීමෙන් මෙන්ම ව්‍යාපාරික අත්දැකීමෙන් ද පොහොසත් අන්සාර් ජීවිතයේ අප්‍රමාණ කඩාවැටීම් මැද විශ්වාසය තබා සිටින කණ්ඩායම් දෙකකි. එකක් සිංහල පාරිභෝගිකයා ය. අනෙක් කණ්ඩායම සිංහල ඡන්ද දායකයා ය.
‘‘මට ඡන්දය දෙන අය ජනවාර්ගිකත්වය අනුව බැලුවොත් සියයට අසූවක්ම සිංහල තමා. මගේ දේශපාලන ගුරුවරයා සිංහල ජනනායකයෙක්. මගේ ඡන්දදායකයාත් සිංහල. මගේ ආධාරකරුවෝ බොහෝමයක් සිංහල මව්වරුන්. මට වත් පොදු මුස්ලිම් සමාජයට වත් සිංහල සමස්ත සමාජයට වත් ජාතිය වැදගත් නෑ. මනුස්සකමයි විශ්වාසයයි තමා වැදගත් සාධකය.‘‘ ඒ ඔහු කතාව පටන්ගත් තැන ය.
මීට වසර හතළිහකට පෙර අනුරාධපුර නව නගරය ඉදිකිරීමට පෙර පූජා නගරය තුළ සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග තුනේම අය එකම ගමක වැසියෝ ලෙස දිවි ගෙවූහ. මෙම සෑම පවුල්වලම ළමයි එකට පන්සල් ගියහ. අනෙක් ආගම්වල වතාවත්වලටද හැමෝම එක්වූහ. පාසල හා ක්‍රීඩා පිටිය ද මේ හැම දෙනාටම එකට ගොඩවදින්නට තිබූ තැන් ය. මේ සුන්දර ළමා කාලය අන්සාර්ට ද හිමි විය. ඔහු පාසල ලෙස තෝරාගත්තේ අනුරාධපුර ශාන්ත ජෝශප් පල්ලිය හා සම්බන්ධ සිංහල දරුවන් බහුතරයක් සිටින ශාන්ත ජෝශප් විද්‍යාලයයි. අදටත් අන්සාර් මහතා ආඩම්බරයෙන් පවසන්නේ ‘මං ජෝශප් එකට ගිය ශිෂ්‍යයෙක්‘ යනුවෙනි.
පාසල් කාලයෙන්පසු වෙළඳ සහායකයෙකු වශයෙන් සිය පවුලේ වෙළඳසල්වල මෙන්ම වෙනත් ව්‍යාපාරිකයින් හා සේවයට එක්වූ ඔහු පසුකාලයේ අනුරාධපුර නව නගරයේ බැංකු පෙදෙසේ ව්‍යාපාරික ස්ථානයක් ඇරඹුවේ ය.
නගරයේ විවිධ තරාතිරමේ ජනයා හා සමඟ ගැටෙමින් ද වැඩිමනත් සිංහල සමාජයේ මිතුරන් හා පොදු වැඩට එක්වීමෙන් ද ඔහු සමාජ සේවයේ නිරත විය.
අන්සාර් දිවංගත කේ. බී. රත්නායක රජරට ජන නායකයා හා සමීපව දේශපාලන කටයුතුවල ද යෙදුණේ ය.
‘‘1985 කළු ජූලිය මගේ ඇස් දෙකෙන් දැක්කා. බොහොම අමිහිරි දේවල්. එක දෙමළ මුදලාලි කෙනෙක් මරන්න ආව කණ්ඩායමකින් ඒ අය බේරාගත්තේ කඩ පනහේ සිංහල මුදලාලි කෙනෙකුයි මමයි එකතු වෙලා වැවක හංගාගෙන ඉඳලා.පොඩි කාලේ ඉඳලා මේ නගරේ අපි හැමෝම අතරේ තිබිච්චි සහෝදරකම පූජානගරෙන් වෙන්වෙලා නව නගරයට ආවාමත් නැතිවුණේ නෑ‘ යි ඔහු අතීතයට යයි.
‘මට අලුත් වත්ත හම්බ වුණේ බුද්ධගයා මාවතේ. දේශපාලනට ආවාම මං ජාති භේද අනුව පක්ෂ තෝරාගත්තේ නෑ. මගේ හෘද සාක්ෂියට අනුව මට හොඳ පක්ෂයක් හා නායකයෙක් තෝරාගත්තා. ඒ වෙනකොට මෛත්‍රිපාල සේනානායක මහත්තයාගේ ගෝලයා වෙච්චි කේ.බී.රත්නායක මහත්තයා මගේ හිතට අල්ලලා ගියා. එතුමාටත් මං මුස්ලිම් ද සිංහල ද කියලා වෙනම පෙනුණෙ නෑ. කොතැනක දැක්කත් මට හොඳින් සැලකුවා.‘යි අන්සාර් කියයි.
පළවෙනි වතාවේ මට මන්ත්‍රි ධූරයක් ගන්න මදිවුණේ ඡන්ද විසි අටයි. දෙවනිවර මම ඉහළින්ම දිනුවා. මට ඡන්දය දුන්න පිරිසෙන් සියයට අසූවක්ම සිංහල වෙන්න ඇති. මං කාන්තා සමිතිවලට, මව්වරුන්ට පොදුවේ උදව් කරනවා. මගේ මැතිවරණ ව්‍යාපාරයේදී කැන්වසින් ගියෙත් මං වෙනුවෙන් පෝස්ටර් ඇලෙව්වෙත් සිංහල අම්මාවරු‘ ඔහු තිර හඬින් පවසයි.
‘මමත් එහෙමයි, නගරසභාවේ දී මුස්ලිම් ජනතාව වෙනුවෙන් විතරක් කියා පෙනී සිටින්නේ නෑ. මම හැමෝගේම මන්ත්‍රි බව තේරුම් අරන් හැමෝම වෙනුවෙන් පෙනීසිටිනවා.‘‘ යන්න ඔහුගේ අව්‍යාජ අදහසයි.
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන්පසු අනුරාධපුරයේ ද බොහෝ වෙළඳසල් ජන ශූන්‍ය විය. සමහරු සිංහල ජනයා මුස්ලිම් කඩ වර්ජනය කරන බවට ප්‍රචාර ගෙනගියහ. මුස්ලිම් පමණක් නොව සියලු වෙළඳ සල්වලට එම දින කිහිපය තුළ වෙළඳාම අඩුවිය.
‘මගේ කඩේටත් දවසක් නෝනා කෙනෙක් ඇවිත් මේක මුස්ලිම් කඩයක් ද කියලා අහලා බඩුගන්දෝ නොගන්දෝ කියලා කල්පනා කළා. මං ඒ වෙලාවේ එයාට පැහැදිලි කළා, ත්‍රස්තවාදියෝ කරපු වැඩේ මාත් හෙළාදකිනවා. මේ නගරේ සිංහල ද මුස්ලිම් ද කියලා වෙනසක් නැතුව හැමෝම වෙනුවෙන් මං සේවය කරනවා. සියයට අසූවක්ම සිංහල අය ඡන්දය දීලා මාව පත්කරගත්තේ මං ජාතිවාදියෙකු නොවන නිසා කියලා. ඒ කතාව අහලා ඒ නෝනා මගෙන් සමාව ඉල්ලලා බඩු අරන්ගියා.‘ අන්සාර් තත්ත්වය පහදයි.
‘මුස්ලිම් අපිට සිංහල ජනතාවගෙන් තොරව වෙළඳාම් කරන්න පුළුවන් කියලා හිතනවානම් ඒක හීනයක්. ඒ වගේමයි සිංහල අය මුස්ලිම් අය නැතුව කඩල්වලින් බඩුගන්න හිතනවානම් ඒකත් හීනයක් අපි යතාර්ථයට මූණදෙන්න ඕනෑ. මං ජෝශප් ගියා.මගේ දරුවෝ සහිරා පාසලට ගියා. ඒත් මගේ දුවලාගේ දරුවෝ යන්නේ ස්වර්ණපාලි බාලිකා (සිංහල) විද්‍යාලයට. අපට භාෂාවෙන්වත් ජාතියෙන්වත් බාදාවක් වෙලා නෑ.ඒවා මුල්කරගෙන වෙනස් වෙන්නත් හොඳ නෑ‘‘ යි අන්සාර් සිය ස්ථාවරය පහදයි.
අන්සාර් ගේ කතාවේ ආදර්ශය ක්‍රියාවෙන් ද පැහැදිලි වූ සාක්ෂියක් ඔහුගේ වෙළඳසලේ ම විය. ඔහුගේ වෙළඳ සහායකයා නමින් චාමර ය. සිංහල පවුලක උපන් චාමර ළමා කාලයේ දීම දරුවෙකු මෙන් හදාවඩාගත් අන්සාර් සිය වෙළඳ සලේ වගකීම් බොහෝමයක් ද අත්උදව් ද ලබා ගැනීම පුතුන්ගෙන් මෙන්ම චාමරගෙන් ද බලාපොරොත්තු වේ.
‘‘පසුගියදා වෙච්චි සිද්ධිත් එක්ක හොඳට පෙනුණු දේ තමා ජනතාවට භේද වෙන්න වුවමනාවක් නෑ කියන එක. අපේ ළමයින්ට රටක් ඕනෑ. ඒක ගැන මේ රටේ හැමෝ හිතන්න ඕනෑ‘‘යි අන්සාර් කීය.