Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ෂාරුක් හජ්ජියාර්:
වෛරයේ ගිනිදැලින් නොදැවුණු මිනිසෙක්

 සියලු ලෝ සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරුවන්නැයි ඉගැන්වූවෝ බුදුන් වහන්සේය. බුදුන් දෙසූවද එය නොපිළිගන්නා බෞද්ධයෝ කොතෙකුත් සිටිති. මේ, එකී බුදු වදනෙහි අගය දත් මිනිසකු ගැන කතාවකි. ඔහුගේ ‘ආගම’ කුමක්දැයි නොඅසන්න. ‘‘මං හිතාගෙන හිටියෙ හැම දෙනාම සහෝදරයො කියලා,’’ ඔහුට සුසුමක් හෙළිණි. ඊළඟට තමන් කී දෙය යළි ඌන පූරණය කළේය. ‘‘මං දැනුත් හිතන්නෙ එහෙමයි, මේ පාර පොසොන් දන්සැලටත් […]

12.07.2016  |  
කඵතර දිස්ත්‍රික්කය

 සියලු ලෝ සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරුවන්නැයි ඉගැන්වූවෝ බුදුන් වහන්සේය. බුදුන් දෙසූවද එය නොපිළිගන්නා බෞද්ධයෝ කොතෙකුත් සිටිති. මේ, එකී බුදු වදනෙහි අගය දත් මිනිසකු ගැන කතාවකි. ඔහුගේ ‘ආගම’ කුමක්දැයි නොඅසන්න.

‘‘මං හිතාගෙන හිටියෙ හැම දෙනාම සහෝදරයො කියලා,’’
ඔහුට සුසුමක් හෙළිණි. ඊළඟට තමන් කී දෙය යළි ඌන පූරණය කළේය. ‘‘මං දැනුත් හිතන්නෙ එහෙමයි, මේ පාර පොසොන් දන්සැලටත් මම පුළුවන් තරමින් උදව් කළා’’
‘‘මුස්ලිම් – බෞද්ධ කියලා බැලුවෙ නැහැ. පන්සල-පල්ලිය කියලා බැලුවෙ නැහැ. ජාති- කුල- පාට- පක්ෂ ඔය කිසි බේදයක් මගේ ළඟ තිබුණෙ නැහැ. හැමෝම ඒ වගේ හිතුව නම් මේ රට කොයිතරම් ලස්සනද?’’ඔහු යළි සුසුමක් හෙළුවේය.

මොහොමඞ් හනීෆා මොහොමඞ් ෂාරුක් හජ්ජියාර් දෑවුරුද්දකට පෙර අලුත්ගම දර්ගා නගරයේ අංක එකේ ව්‍යාපාරිකයෙකි.
මොහොමඞ් හනීෆා මොහොමඞ් ෂාරුක් හජ්ජියාර් දෑවුරුද්දකට පෙර අලුත්ගම දර්ගා නගරයේ අංක එකේ ව්‍යාපාරිකයෙකි.
වියරු ගිනිදැල්

මොහොමඞ් හනීෆා මොහොමඞ් ෂාරුක් හජ්ජියාර් දෑවුරුද්දකට පෙර අලුත්ගම දර්ගා නගරයේ අංක එකේ ව්‍යාපාරිකයෙකි. ජීවිත කාලයක් පුරා මහත් කැපවීමෙන් යුතුව ක්‍රමානුකූලව ගොඩනඟාගත් ඒ සියලු සෞභාග්‍යය, 2014 ජුනි 15 වැනිදා ඔහුගේ දෑස් ඉදිරිපිටදීම දැවී අළු වී ගියේය. ඒ ස්වභාවිකව හටගත් ගින්නකින් නොව, ඔහු සහෝදරත්වයෙන් සැලකූ මිනිසුන්ගේ සිත් තුළ අවස්ථාවාදී සාහසික කල්ලියක් විසින් ඇවිළවූ වියරු ජාතිවාදී-ආගම්වාදී ගිනිදැල්වලිනි.
නගරයේ පැවැත්වූ කුපිතකර රැස්වීමකින් පසුව සංවිධානාත්මකව වීදි බට ඔවුහු මුස්ලිම් ජනතාවගේ දේපළ කොල්ලකමින්ද, ගිනිබත් කරමින්ද, ඔවුන් පසුපස වියරු ලෙස හඹා ගොස් හිංසාවට ලක් කරමින්ද දැවැන්ත සංහාරයක් සිදු කළේ එවක රජයේ ආරක්ෂක අංශවල පූර්ණ අනුදැනුම හා ඇතැම් තැනකදී අනුග්‍රහයද සහිතවය. ගැටුමේදී දේපොළවලට වැඩියෙන්ම හානි වූයේ දර්ගා නගරයේ ය. ගැටුම්වලින් පසු පුද්ගලයන් හතර දෙනකු මියගොස් අසු දෙනකුට පමණ තුවාල සිදුවූ අතර ආරක්ෂාව පතා නිවෙස් අතහැර ගිය දහස් ගණනක් මිනිසුන් අතර වැඩි වශයෙන් මුස්ලිම් පිරිස් වූහ. ගිනි තබා විනාශ කෙරුණු නිවාස 14 කි. ගිනිබත් කෙරුණු ඇතැම් වෙළෙඳසල් පළමු ව කොල්ලකෑම්වලට ද ලක් විය. බේරුවල, අලුත්ගම සහ දර්ගා නගරය යන නගර තුන, බුර බුරා නැගුණු ගිනි දැල් හා කළු දුමාරයෙන් වැසී ගියේය. ෂාරුක් හජ්ජියාර්, ඒ මහා වියරුවෙහි එක් අහිංසක ගොදුරක් පමණි.
‘‘මේව මතක් කරනකොටත් හිතට හරි අමාරුයි නෝනා’’ යි කී ඔහු මොහොතක් නිහඬව සිට යළි කතා කළේය.
”හවස පහට විතර මාත් ගියා ඒ මීටිම බලන්න. එතකොට අපි දැක්කා, ලොරි දෙකකින් ගෙනාපු කට්ටිය හන්දියක් හන්දියක් ගානේ බස්සනවා. ඒ හැමෝම කළුපාට ෂර්ට් එකයි ට‍්‍රවුසර් එකයි ඇඳල හිටියෙ. අපිට ඉවෙන් වගේ දැනුණා මොකක්හරි විනාසයක් වෙන්න යන්නෙ කියලා. මේ අය තමයි හවස් වෙනකොට අපරාධ කරන්න පටන්ගත්තෙ. පස්සෙ මේ පැතිවල අයත් උන්ට එකතු වුණා. ආරක්ෂක අංශ බලාගෙන හිටියා. අපේ පිහිටට කව්රුවත් හිටියෙ නෑ’’

‘දන්නා මිනිස්සු’

වියරු වූවන් ෂාරුක් හජ්ජියාර් සොයා එන විට ඔහු සිටියේ සිය බිරිය, පුතණුවන්, දියණිය හා ඇගේ දරු සිඟිත්තියද සමග නිවසට කොටු වී, කළ යුතු දෙයක් සිතාගත නොහැකිවය. නිවසට කඩාවැදුණු ආයුධ සන්නද්ධ සාහසිකයෝ ඔවුන්ගේ ඇස් ඉදිරිපිටදීම හැකි තාක් දේපළ කොල්ල කෑවෝය. නිවසේ තිබූ ඉතාම ඉහළ වටිනාකමකින් යුතු කවිච්චිය, පෙට්ටගම, තවත් වටිනා ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ ඇතුළු බොහෝ දේ, සිවු දෙනා බැගින් පැමිණ ඔසොවාගෙන ගොස් ගේට්ටුව අසල නවතා තිබූ ටිපර් රථයකට පැටවූහ. ඉන් පසුව ඉතිරි වූ සියල්ල සමග නිවස ගිනිබත් කළෝය.
‘‘පිට මිනිස්සු විතරක් නෙමේ, ‘ආ, ෂාරුක් හජ්ජියාර්’ කියල මේ ගෙදරින් කාල බීල ගිය මිනිස්සුත් ඒ අතරෙ හිටියා. ‘අනේ මල්ලි,  ඕව නම් ගෙනියන්න එපා’ කියද්දි ‘අඩෝ තම්බියා කට වහපන් තෝව ඉතුරු කරන්නෙ නැහැ’ කියල අන්තිම කැත විදියට මට කතා කළේ. නිල ඇඳුම් ඇඳගත්තු හමුදාවෙ, එස්.ටී.එෆ් එකේ මහත්තුරු බලා හිටියා. අපිට හිතාගන්න බැරිවුණා මොනවද මේ සිද්ධවෙන්නෙ කියලා. කාගෙත් හිතවතා වෙච්ච හජ්ජියාර්ටද මෙහෙම වෙන්නෙ කියල මට ඇඬුණා.. මුළු ගේම ගිනි ඇවිළෙද්දි අපි පස් දෙනා යන්තම් පණ බේරගෙන දිව්වා’’

‘‘ඒක කොයිතරම් භයානක ගින්දරක්ද කියල නොදැක්ක කෙනෙකුට තේරුම් කරන්න බැහැ.
‘‘ඒක කොයිතරම් භයානක ගින්දරක්ද කියල නොදැක්ක කෙනෙකුට තේරුම් කරන්න බැහැ.

‘‘ඒක කොයිතරම් භයානක ගින්දරක්ද කියල නොදැක්ක කෙනෙකුට තේරුම් කරන්න බැහැ. මගේ වත්තෙ පොල්ගස් දොළහක් තිබුණා. ඒ ගිනි ජාලාව කොයිතරම් විසාලද කිව්වොත්, ඒ දොළහම විනාසයි.’’

මහා අලාභයක්

විනාශය එතෙකින්ද කෙළවර වූයේ නැත. හජ්ජියාර් දිගු සුසුමක් හෙළා නැවත කටහඬ අවදි කරයි.
‘‘පුච්චලා දාපු මගේ වාහන සේල් එකෙන් ලක්‍ෂ 275ක් පාඩුයි. වාහන 07ක් තිබුණා, ඒ සේරම මට අහිමි වුණා. ඉස්සරහා වත්තෙත්, බැංකුව පිටුපස්සෙ ඉඩමකත් පිච්චුණු වාහන ගොඩගහලා තියෙනවා. සමහර ඒවා පරණ යකඩවලට වික්කා. තාමත් බලාගෙන ඉන්නෙආණ්ඩුවෙන් වන්දියක් දෙයි කියලා. ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, ලියන්න  ඕන හැම තැනටම ලිව්වා. නමුත් කිසිම දෙයක් ලැබුණෙ නැහැ. ඉතින් කොහොමද ඔළුව උස්සන්නෙ?’’
‘‘විනාසෙ බලන්න කවුරුවත් ආවෙ නැද්ද?’’
‘‘අපරාදෙ කියන්න බෑ, මහින්ද මහත්තය ආවා. මේව දැක්ක ගමන් එයාගෙ මූණ වෙනස් වුණා. ‘හජ්ජියාර්ට ලොකු පාඩුවක් නේ වෙලා තියෙන්නෙ, මං හජ්ජියාර්ට කියන තැනකින් ගෙයක් හදල දෙන්නම්’ කිව්වා. තක්සේරුව කෙසේ වෙතත්, පුච්චපු ගේ වෙනුවට ගෙයක් හදල දුන්නා. ඒත් ව්‍යාපාරෙට කළ විනාසෙට කිසිම සහනයක් ලැබුණෙ නැහැ.’’

අලුත්ගම, බේරුවල සහ දර්ගා නගරයේ හටගත් ගැටුම්වලින් අනතුරුව දර්ගා නගරයේ ඇතැම් සිංහල වැසියන් මුස්ලිම් වැසියන් හමු වී සිදු වූ දේ පිළිබඳව සමාව ඉල්ලා සිටි බවත්, ගැටුම්වලට සම්බන්ධ වූයේ ප්‍රදේශවාසීන් අතරින් ඉතාමත් සුළු පිරිසක් පමණක් බවත් දර්ගා නගරයේ අධිකාරිගොඩ ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකරු අබ්දුල් කෆූර් මොහමඩ් හිෆාල් කියා සිටියේය.
“සමහර සිංහල සහෝදරයෝ ඇවිල්ල දුක් කඳුළු හලලා ගියා. සමහර අය සමාව ඉල්ලුවා. ඒ වගේ දුක් වෙච්ච හුඟාක් සිංහල සහෝදරයෝ අපි අතර ඉන්නවා “යි ඔහු සඳහන් කළේය.
ගිනි තබා විනාශ කෙරුණු නිවාස 14 කින් තුනක් හැරුණු කොට අනෙක් නිවාස එකොළහේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්ෂක හමුදා අවසන් කොට ඇති බවද ප්‍රදේශවාසීහු කියා සිටියහ.
ඇතැම් සංවිධාන සහ පුද්ගලයන් දේපොළ විනාශ වූ පිරිසට ආධාර කොට තිබෙන නමුත්, සිදුවු හානිය වෙනුවෙන් මේ වනතුරු ආණ්ඩුවෙන් වන්දි ලැබී නැති බවද දර්ගා නගර වැසියෝ කියති.

දෙවියන් කොහිද?

මම ෂාරුක් හජ්ජියාර් දෙස බලා සිටියෙමි. යහපත් මිනිසකුට මෙතරම් කුරිරු විනාශයක් අත් වීමට ඔවුන්ගේ දෙවියන් ඉඩ හැරියේ ඇයි? එය දෙවියන්ගේ කැමැත්ත විය හැකිද? ඒ පැනය සිතින් සිතූ මුත් මුවින් නොනැඟුවෙමි. ඒ ඔහුගේ ආගමික විශ්වාසයට නොරිදවිය යුතු බැවිනි. පුදුමයකට මෙන් මා නොනැඟූ පැනයට ෂාරුක් හජ්ජියාර් පිළිතුරු දුන්නේය.
‘‘මට ලැබිල තිබුණු හැම දෙයක්ම දුන්නෙ දෙවියෝ. ඒව නැතිවුණෙත් දෙවියො දැනුවත්ව. බයිපාස් සැත්කමක් කරල හිටපු මට එදා ඒ ගින්දර දැක දැක උහුලගෙන ඉන්න පුදුම හයියක් දුන්නෙත් ඒ දෙවියොමයි. අනතුරක් නොවෙන විධියට මාවත් මගේ පවුලේ අයවත් දරාගෙන හිටියේ ඒ දෙවියොමයි. මේ තරම් දෙයක් වෙලත්, ඒ අපරාධ කරපු අයට වෛර නොකර ඉන්න මට කියාදුන්නෙත් දෙවියෝ. මං වෛරයෙන් මගේ හිත කිළිටි කරගන්නෙ නෑ. ඒ නිසා අදත් මං සතුටින් ජීවත් වෙනවා’’

ඒ සා විසල් ගිනි ජාලාවක් ඇවිළවූවන්, මේ වියපත් මුසල්මානුවාගෙන් හෝ සංහිඳියාව ඉගෙන ගත යුතු නොවේද?
ඒ සා විසල් ගිනි ජාලාවක් ඇවිළවූවන්, මේ වියපත් මුසල්මානුවාගෙන් හෝ සංහිඳියාව ඉගෙන ගත යුතු නොවේද?

ලොවටම මහා කරුණාව පැතිරවූ උතුම් බුදුන්වහන්සේ සරණ ගිය වුන් ලෙස පෙනී සිටිමින් සහෝදර ජනකායකට එරෙහිව ඒ සා විසල් ගිනි ජාලාවක් ඇවිළවූවන්, මේ වියපත් මුසල්මානුවාගෙන් හෝ සංහිඳියාව ඉගෙන ගත යුතු නොවේද?
රාජ්‍ය යාන්ත්‍රණයේද අනුග‍්‍රහය ඇතිව සිදුවූ බවට පැහැදිලි සාක්ෂි ඇති මේ මහා අපරාධය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදු කොට ඊට වගකිවයුතු අය සම්බන්ධයෙන් දැන්වත් නීතිය ක්‍රියාත්මක කළ යුතු නැද්ද? එසේ නොකරන පාලනයක් ‘යහපාලනය’ නාමයෙන් පෙනී සිටීමත්, වෛරය වැපිරූවන් බොදුනුවන් ලෙස පෙනී සිටීමත් අතර වෙනස කුමක්ද?

සේයා: මෙලනි මානෙල් පෙරේරා