Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සතුට හොයන
අසතුටේ කතාව

මේ වසංගත සමයේ තීව්‍ර වූ සාමාන්‍ය ජනයාගේ අසතුටේ කතාවලින් ස්වල්පයකි. ඒ අසතුටට එරෙහිව ආචාර්ය ලියනගේ අමරකීර්ති පෙන්වා දෙන ආකාරයට සතුට සොයන ඔවුන් විහිලුවට ගන්නා මාධ්‍ය තවත් පිරිසක් වෙනුවෙන් විනෝද සුඛ සම්පාදනය කරයි. අවාසනාව වන්නේ වැරදි සොයන ඔවුන්ට අසතුටේ හේතුව හෝ අසතුට නොපෙනීමයි.

14.05.2020  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

සුප්‍රකට ගත්  කතුවර සහ විශ්ව විද්‍යාල ආචාර්ය ලියනගේ අමරකීර්ති එළි දකින්නට නියමිත සිය කෘතියකින් උපුටා ෆේස්බුක් හි පළ කළ ඡේදයකින් කොටසක් උද්ධෘතව දක්වමි.

“මත්ද්‍රව්‍ය භාවිතය මගින් හුරුපුරුදු දේවල සුපුරුදු පෙනුමෙහි ග්‍රහණයෙන් මිදීම යනු මානව වර්ගයා අනවරතයෙන් යෙදුණ කාර්යයකි. ප්‍රංශයේ පර්ගුසෙට් ප්‍රදේශයේ ගල් ගුහාවකින් සොයා ගත්, අවසන් අයිස් යුගයේ අවසාන කාලයට අයත් විත්‍රවල එන සත්ත්ව රූපවලින් පෙන්නුම් කරන්නේ අවුරුදු දොළොස් දහසකට හෝ පහළොස් දහසකට පෙර කලාකරුවන්ගේ මත් අත්දැකීම් වන්නට පුළුවන. යකදුරන් (ශාමනයන්) අනාදිමත් කාලයක සිට මත්ද්‍රව්‍ය භාවිතා කොට තිබේ. ලෝකයේ සමහර පළාත්වල මුලින්ම පැලෑටි හීලෑ කරන්නට ඇත්තේ, ඒවාගෙන් ලැබෙන මානසික – ක්‍රියාකාරී ගුණ නිසා විය හැකිය.

…..මෙලොව ජීවිතය දුෂ්කරය යන්න ආගමික සංස්කෘතීන් විසින් පිළිගැනෙන දෙයකි. සියලු දුක් කඳුළු පිස දැමෙන වෙනත් ලෝකයක් ආගම් මගින් පොරොන්දු වන්නේ එහෙයිනි. ඒ ආගම්වලට පසුව ඒවාගේ මානවවාදී අනුප්‍රාප්තිකයෝ ඊටත් වඩා ඇදහිය නොහැකි දෙයක් පොරොන්දු වෙති. ඒ වූ කලී අනාගතයේදී, නුදුරු අනාගතයේදී සෑම දෙනාම ප්‍රීතිමත් වනු ඇත යන්නයි. ප්‍රගතිය පිළිබඳ විශ්වාසය මත පදනම් වූ සමාජවලට මනුෂ්‍ය ජීවිතයේ සාමාන්‍ය දෙයක් වන අසතුට යනු පිළිගත නොහැකි දෙයකි. එහි ප්‍රථිඵලයක් ලෙස ඒ සමාජ මත්ද්‍රව්‍ය වෙතින් කෘත්‍රිම සතුටක් සොයන අය වෙත යුද්ධය ප්‍රකාශ කරයි.” ආචාර්ය අමරකීර්ති වචන පන්සියයක මේ වියමන මුදා හරින්නේ මත්පැන් පෝළිම්වල සිටින සාමාන්‍ය ජනයා රූපවාහිනී මාධ්‍යවල විහිළුවට ලක්කරන පසුබිමක හා ඔවුන්ගේ පවුල්ද අපහසුතාවට භාජනය වන අන්දමින් අනන්‍යතා නිරාවරණයෙහි නිරතව සිටියදී ය.

 රූපවාහිනී කැමරා ගොදුරු

වසංගත සමයෙක සුවහසක් ප්‍රශ්න තිබියදී  මත්පැන් හල් ඉදිරිපිට සනීපාරක්ෂාවද නොතකා පෝළිම්වල තදබදව සිටීම හා මත්පැන් පාරිභෝජනයේ හොඳ නරක පිළිබඳ විවාදයද වෙනම සාකච්ඡා කළ යුතුව තිබියදී පෞද්ගලිකත්වය ආක්‍රමණය කරමින් රූපවාහිනී කැමරා ගොදුරු බවට පත්කරගත් ජනයා සාමාන්‍ය මිනිසුන් ලෙස ආචාර්ය අමරකීර්තිගේ අවධාරණයට භාජනය වීම අවධානයට ලක් කරමු. ඔහු මේ පවසන්නේ, පහළ මධ්‍යම පංතිය හා ඉනුත් පහළ ජනයා මිස අවශේෂ ප්‍රභූන් රූපවාහිනී කැමරාවලට හසු නොවන බව මිස ඔවුන් මත්පැන් පරිභෝජනය නොකරන බව නොවේ. මේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට සුපිරි වෙළඳසැල් හෝ අවන්හල් තුළට ප්‍රවිශ්ඨ වී සිය කැමරා මානා ගැනීම කළ නොහැක. එතෙකින් ඔවුන්ගේ පහසු ගොදුරු බවට පත්වන්නේ මේ කියන ජනයායි. දෙමාසයකට පමණ පසුව මත්පැන් හල් විවෘත කරද්දී මෙතෙක් කසිප්පු හෙවත් වෛද්‍ය මතයේ අන්දමට විෂ විය හැකි නීතිවිරෝධී මත්පැන් වැඩි මිළට පානය කළ ජනයා පොදිකමින් පුරුදු ඇබ්බැහිය සොයා එම සඳහා බලපෑ ලියනගේ අමරකීර්ති පෙන්වාදෙන පෙර උද්ධෘතගත කාරණා ගැන අවධානය යොමුකිරීමට තරම් මුහුකුරා ගිය දැනුමක් හෝ වුවමනාවක් මෙරට රූපවාහිනී මාධ්‍ය වෙත නොවීය.

මත්පැන් හල් ඉදිරිපිට සනීපාරක්ෂාවද නොතකා පෝළිම්වල

මේ දිළිඳු හෝ සාමාන්‍ය පාරිභෝගිකයා මත්පැන් විෂයයෙහි මෙතරම් ආශක්තව සිටීම සාධාරණීකරණය කිරීමට වෑයම් නොකරන නමුත් ව්‍යසනවලින් ගහන ඔවුන්ගේ ජීවිත වසංගත සමයකින් බැහැරවද අසතුට පිරීගත් ඒ නිසාම කෘත්‍රීම සතුටක් සෙවීමට උත්සාහ ගන්නා ඒවා ලෙස පෙන්වා දීම අසාධාරණ නොවේ. ඇතැම් වැරදි ඔවුන් අත පැවතියදී නමුත් සමස්ත සමාජ ක්‍රමය විසින් ජනයා හිංසනයට හෝ වෙනස්කොට සැළකීමට භාජනය කිරීම මෙන්ම මෙසමයෙහි ඔවුන්ගේ අසතුට තීව්‍ර වන්නට හේතු වන කාරණා අවධානයෙන් ගිලිහීම කනගාටුදායකය.

වසංගතය ආරම්භ වී සතියක් ගෙවෙන්නට මත්තෙන් ඌව පළාතේ ඈත කෙළවර ගල්ඔය මිටියාවත මධ්‍යයේ පිහිටි රතුගල වැදි ගම්මානය අවධානයට භාජනය විය. සංදර්ශනාත්මක දායකත්වයක් දැක්වූ පිරිසක් එහි ගියේ බඩසයින් හාමත්ව සිටින වැද්දන්ට ආහාර ස්වල්පයක් පිළිගැන්වීමට ය. රතුගල වැදි නායක සුදා වන්නියලෑ ඇත්තෝ සිය සගයන්ගෙන් ඇතමෙකු දින කිහිපයක් කිසිවක් නොකෑ බව පැවසූහයි ෆේස්බුක් සටහන් පළව තිබුණද දොස්තර ආර්.එල් ස්පිට්ල් ඔවුන් පිළිබඳ ග්‍රන්ථ රචනා කළ සමයේ පටන් වැදි ජනයා විඳි ජීවන පීඩාවන් නොවෙනස්ව පැවතීම පිළිබඳ අවධානය යොමු වූයේ නැත. වඩාත් ප්‍රකට වැදි ජනාවාසය වූ දඹානේ ජනයාද වසංගත සමයේ “කසිප්පු පානය කිරීමට ඇබ්බැහිව සිටිති”යි එහි මුල්වැසි ඌරුවරිගේ වන්නියලැත්තන් ප්‍රකාශ කළේය. අවධාරණය වූයේ කසිප්පු බීගත් වැද්දන් සනීපාරක්ෂක උපදෙස් තඹයකට මායිම් නොකර ගෙයක් කඩපිලක් ගාණේ උනුනුන් වැළඳ ජෝගි නටන අන්දමයි. අනාවරණය විය යුතු කතාව වූයේ ආර්ථික වශයෙන්ද ආන්තික වැදි ජනයා වසංගත සමයේ වඩාත් පීඩාවට පත්ව ගොවිතැනද, දඩයමද අහිමිව තමන් නරඹන්නට එන සංචාරකයන්ගේ ආගමනයද ඇහිරී පත්ව ඇති අත්‍යන්ත පීඩාවයි.

 වසංගතයේ වේශයෙන් පැමිණි ආර්ථික පීඩාව

පවුල් හාරසියයකට අධික ගණනක ආදිවාසීන්ට වසංගතයේ වේශයෙන් පැමිණි ආර්ථික පීඩාව බලපෑවේය. ගොවිතැනට හුරුවක් හෝ වාරි පහසුකම් සහිත ඉඩම්ද නැති වනජීවී නීති මගින් දඩයම ඇහිරූ ඔවුන්ගේ එදා වේල උපයා දුන්නේ සංචාරකයාට අලෙවි කළ අත්කමකි. සංචාරකයන් නොපැමිණෙන සමයෙක අත්කම් අලෙවියද ඇවිරී අහේනි අසතුට තීව්ර වූ ආදිවාසී ඇතැම් පුරුෂයෙකු සිය නොදැනුමේ දැනුම කසිප්පු තිප්පොලක් කරා යෑමට භාවිතා කරද්දී බොහෝ පිරිමින්ට හා ගැහැණුන්ට සිදු වූයේ දඹාන කොටබකිණිය අවට වැව් කරා පියමං කිරීමටයි. “දැලි කැදලි වැව, උල්හිටිය වැව” ආදී වැව්වලට පවුල් පිටින් ගිය ඔවුහු ඇමිණූ පණුවන් සහිත බිලිපිති  දියෙහි දමා බලා සිටියහ. ඒ අසුවෙන මසුන් රැගෙන ගොස් විකුණා මුදලක් උපයා ගැනීමට නොවේ. එතැන ඒ වැව් පිටියේම දර කැබලි කිහිපයකින් තනා ගන්නා ගිනි ගොඩක දමා පුලුස්සා එදා වේල කෑමටය. කුකුරුමාන් ගෙඩි තලා දියෙහි දැමීම වෙනුවට ලෝ මුවා කොක්කකින් සමන්විත බිලිපිත්ත ආදේශව තිබුණද වසංගතය නිසා වැද්දෝ සියවසක් ආපස්සට ගමන් කොට තිබුණි.

සාම්ප්‍රදායික කුඹල් ශිල්පියෙකු වන ධර්මසේන

දැලි කැදලි වැවට බිලිපිත්තක්ද ඇතිව සිය දරුවන් කැටුව ආ ඌරුවරිගේ ඉන්ද්‍රාණි දෙමාසයක පමණ කාලයක් තිස්සේ මසුන් ඇල්ලීම අභ්‍යාස කරයි.

දැලි කැදලි වැවට බිලිපිත්තක්ද ඇතිව සිය දරුවන් කැටුව ආ ඌරුවරිගේ ඉන්ද්‍රාණි දෙමාසයක පමණ කාලයක් තිස්සේ මසුන් ඇල්ලීම අභ්‍යාස කරයි. ඇතැම් දිනෙක මසුන් අසුවන්නේ නැතිව හිස් අතින් නිවෙසට ගොස් නිදා ගැනීමට සිදුව තිබුණද බොහෝ දිනවල ඇය හා දරුවන් සැබෑ වැද්දන් ලෙස වැව් පිටියේ දවසරියි. “අපේ දරුවන් බඩගිනියි කියලා කියන කොට අපට ඉවසන්න බැහැ. ඉතින් අපි වැවට ඇවිල්ල මාලු අල්ලගෙන පුච්චං  කනවා” ඇය පවසන්නීය. “අපි වැවට ඇවිත් කොකු ගහලා බලා ඉන්නවා දිය මැච්චෙක් අහුවෙයි කියලා. සමහර දවස්වල හිස් අතින් ගෙදර යනවා. ගෙදර අයත් එක්ක ඇවිත් හම්බවෙන දිය මැච්චා වැවේදිම පුච්චං කන එක තමයි අපේ ජීවිතේ” ඌරුවරිගේ චුට්ටා පවසයි.

වන්නියලැත්තන්ගේ පුත්‍රයා හා ඇතැම්විට අනාගතයේ රැහැට නායකත්වය දිය හැකි ඌරුවරිගේ කලූ හෙවත් කලු පුතා පවසන්නේ තම ජනයා ප්‍රදර්ශන භාණ්ඩ බවට පත්කරගෙන ඇති අන්දම පිළිබඳ යථාව මෙසමයෙහි අත්විඳි බවයි. තමන්ගේ සතුටට කිරි කොරහ නටවාගත්, සෙයිලමේ ක්‍රිකට් මැච්වලට වැද්දන් අඬ ගසා ගත් පිරිස් තමන්ගේ අසතුට නොදුටු බව ඔහුගේ අදහසයි.

කොරෝනා ඇන්න දෙහිගොල්ලේ වළං

දෙහිගොල්ල මහියංගණයට නුදුරු සාම්ප්‍රදායික කුඹල් ගම්මානයකි. එහි වැසියන්ගේ ආදායම ඉහළ යන්නේ සිංහල අලුත් අවුරුදු සමයේ සහ වෙසක් උත්සව සමයේ දීය. ඒ නැවුම් වළං ඇතිලි සහ මැටි පහන් තනා විකිණීමෙනි. මෙවර වළං හෝ පහන් තනන්නට කපා රැගෙන ආ පදම් කළ මැටි ගොඩවල් අත්හරින්නට සිදුව තිබේ. එසේම තනා පිලිස්සු හෝ නොපිලිස්සූ වළංද ගබඩා ගෙවල අත් හරින්නට සිදුව තිබේ. වසංගතය නිසා උද්ගත වූ සීමා කිරීම් වළං වෙළඳාමට දැඩි බාධාවක් වූයේ ඒවා අත්‍යවශ්‍ය භාණ්ඩ නොවන බව බලධාරීන් තීරණය කිරීම නිසාය. වෙනදා සිය නිමැවුම් විකුණා සෑහෙන මුදලක් සොයා ගන්නා ඔවුන්ට රජයේ සහනාධාරවලින් යැපෙන්නට සිදූ වූයේ එබැවිනි.  සාම්ප්‍රදායික කුඹල් ශිල්පියෙකු වන ධර්මසේන පවසන්නේ සිය කුඹල් සකවලට නිවාඩු දෙන්නට සිදුව ඇති බවයි.

 සාම්ප්‍රදායික කුඹල් ශිල්පියෙකු වන ධර්මසේන

“වෙන අවුරුදුවල සිංහල අවුරුද්ද කිට්ටු වෙද්දි සති පොළවල කඩකාමර කුලියට අරගෙන බඩු ස්ටොක් කරනවා. හොඳ සල්ලියක් අතට ආවා ඒව වික්කම. වෙසක් එකට පහන් නම් ගිය අවුරුද්දෙත් විකුණගන්න බැරි වුණා පාස්කු සිද්ධිය නිසා. මේ පාර ඒක අල්ලගන්න හිටියෙ. ඒත් අන්තිමේ ඔක්කොම වතුරෙ ගියා. අපි දැන් ජීවත්වෙන්නේ සහනාධාරවලින්.” යැයි ධර්මසේන පවසයි. වැන්දඹු කාන්තාවක වන දමයන්තිද වළං තනන්නියකි. සෙසු නිෂ්පාදන රජය මගින් මිලට ගත්තද වළං එසේ මිලට නොගත් බවත් රජයට වළං වුවමනා නැති බවත් ඇය පවසන්නීය. එහෙත් තමන් වැනි දහස් ගණනකගේ ජීවිත වළඳෙන් ලිපට වැටුණු බව බොහෝ දෙනා නොදන්නා බව ඇය පෙන්වා දෙයි.

වහලුන් බවට රූපාන්තරණය වූ වතුකර ජීවිත

උවදුර සමග ලෝක තේ වෙළඳපොළෙහි මෙරට තේ කිලෝවක් සඳහා ලැබෙන මිළ ඉහළ ගියේය. ඇතැම් රටකින් සැපයුම් ලැබීම පමාවීම නිසා සහ නිවෙස්වලට කොටු වූ ලෝ වැසියන් වැඩිපුර තේ බීම නිසා එසේ වන්නට ඇත. එහෙත් වසර කිහිපයක සිට රුපියල් දහසක් දක්වා ඉහළ නංවන බවට පොරොන්දු වූ වතු ජනයාගේ දෛනික වැටුප තවමත් එතැනය. කොරෝනා වසංගතය ඇරඹීමට පෙර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පැවති නියඟය නිසා ඉලක්කගත දින දහනවයක සේවා කාලය සැපිරිය නොහැකිව අඩු වැටුප් ලබමින් සිටි වතු ජනයා ඇඳිරි නීතිය පැනවීම හා වතුවලින් බැහැර නගරවල කළ කුලී රැකියාවන්ද අහිමිවීමෙන් පීඩාවට පත් වූහ. පුදුමයට කරුණ රජය ලබාදුන් රුපියල් පන්දහසක සහනාධාර අරමුදල වතු ජනයාට දීමට කටයුතු කිරීමටත් පෙර වාරික තුනකින් රුපියල් නමදහසක් ගෙවීමට වතු සමාගම් ඉදිරිපත් වීමය. ඒ මුදල නැවත ඔවුන් වැඩකර උපයාගන්නා වැටුපෙන් කපා ගැනීමට මිස සහනාධාරයක් ලෙස දීමට යෝජනා වුවක්  නොවන නමුත් දේශපාලනික කම්කරු නායකයන් එය මහා ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීය. අන්තිමේදී වත්තේ වැටුප් ලේඛනවල ස්ථිර රැකියා ඇත්තවුන් ලෙස සඳහන් කම්කරු ජනයාට වෙනත් සහනාධාරද නොලැබී ගියේය. සමස්ත ලංකා වතු කම්කරු සංගමය පමණක් සිය ජනයාට රුපියල් පන්දහසේ ආධාරය ලබා දෙන්නැයි රජයෙන් අයැද සිටියේය. ඒ අතර ඇතැම් වතු සමාගම් ත්‍රිත්ව වාරික රුපියල් නමදහස දුන්නේ වියළි සලාක ලෙසය. එම සලාක මල්ලේ තිබූ හාල් මිනිසුන්ට තබා සතුන්ටවත් බුදින්නට නොහැකි බව පවසමින් කර්කස්විල් වතු යායෙ හෙල්බොඩ කොටසේ කම්කරු ජනයා උද්ඝෝසනය කළහ.

මේ ආකාරයටම ගම්බිම් බලා යන්නට නොහැකිව කටුනායක වෙළඳ කලාපයේ නවාතැන්වල සිර වූ  කම්කරු ජනයාද රුපියල් පන්දහස වෙනුවෙන් සටන් කළ අතර ඇතමෙකු පැවසුවේ තමන්ට ලබා දුන් වියළි සලාක මලුවලද පරිභෝජනයට නුසුදුසු ආහාර තිබූ බවයි.

වතුකර ජීවිත