Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

කොක්එළියේ සිදු වූයේ කුමක්ද?

කොටි පිස්තෝල කල්ලිය, වව්නියාවේ කොක්එළිය රණවිරු ගම්මානයට කඩා වැදී, එහි පදිංචිකරුවන්ට උතුරෙන් පිට වී යන ලෙස තර්ජනය කළ බවට ‘ගිනි ඇවිලෙනසුලු’ පුවතක් පසුගියදා සිංහල ජනමාධ්‍යවල පළ විය. කොක්එළියට ගිය අපට අසන්නට ලැබුණේ ඊට වෙනස් කතාවකි.

14.11.2016  |  
වවුනියාව දිස්ත්‍රික්කය
Peaceful coexistence: Conflict in Kokeliya has more to do with a real estate deal gone wrong, than racism.

‘‘අපි ළඟ සිංහල දෙමළ භේදයක් නෑ. අපි ජාතිවාදය කිසිසේත් අනුමත කරන්නේ නෑ. මේ ගමේ හැමෝම එකට සහයෝගයෙන් ඉන්නවා දකින එකයි අපේ කැමැත්ත. පහුගිය දවස්වල ඇතිවෙච්චි ගැටුම සිංහල දෙමළ කෝලාහලයක් නෙවෙයි. අපට පස්සේ තේරුම් ගිය විධියට, ඒක වැරදි අකාරයට ඉඩම් විකිණීමත්, මිලට ගැනීමත් නිසා ඇති වෙච්ච අවුලක්.”

කොක්එළිය ශ්‍රී බෝධිමළුව විහාරාධිපති කැලණියේ කාශ්‍යප හිමියෝ සන්සුන් ස්වරයෙන් පැවසූහ. ‘කිසිවකු කී පමණින් නොපිළිගන්නැයිද තමන්ම විමසා බලා නිවැරදි යයි අවබෝධ වන්නේ නම් පමණක් පිළිගන්නැයිද’ දෙසූ උතුම් බුදු වදන හිස් මුදුනින් ගත් උන්වහන්සේ, ගිනි ඇවිලවීමට නොව ගිනි නිවීමට මැදිහත්කාරක වන දුලබ ගුණයෙන් යුතු හිමි නමකි. එසේ නොවන්නට, ඉතා සංවේදී බිම් කඩක් වූ කොක්එළියෙහි නැවත වරක් ගිනි ඇවිල යන්නට ඉඩ තිබිණි.

‘කොක්එළිය’

‘කොක්එළිය’ යනු වව්නියාව දකුණු සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උතුරු දෙසින් පිහිටි අවසාන සිංහල ගම්මානයයි. එය 1983 වසරේ යුධ ගැටුම් හේතුවෙන් ජන ශුන්‍යව තිබී, නැවත පදිංචි කළ ගම්මානයකි. වව්නියාවේ පදිංචියට කැමැත්තෙන් අයදුම් කළ, අවට පෙදෙස්වල ‘රණවිරු පවුල්’ 56ක්ද අසල්වැසි දමිළ ගම්වැසියන් හා සහයෝගයෙන් දිවි ගෙවති.

‘රණවිරු පවුල්’ 56ක්ද අසල්වැසි දමිළ ගම්වැසියන් හා සහයෝගයෙන් දිවි ගෙවති.

එවකට කොක්එළිය පවුල් හාරසීයක් තරම් සිටි විශාල ගම්මානයක් වූ අතර එල්ටීටීඊය විසින් සිංහල පවුල් සියල්ල එළවා දැමීමෙන් පසු එම ජනයා නොච්චියාගම, අනුරාධපුර ඇතුන්ගම හා මැදවච්චිය ආශ්‍රිත ප්‍රදේශවල තාවකාලිකව පදිංචි වූහ.

2009 වසරේ යුද්ධය නිමාවීමෙන් පසුව දෙමළ මෙන්ම සිංහල පදිංචි කරුවන්ටද පෙර පදිංචි ස්ථානවල ඉඩකඩම් ලබාදීමට රජය පියවර ගත්තේය. මෑතකදී ඊට යාබදව ‘සංහිඳියාවේ ගම’ ලෙස හමුදා පවුල් සදහාද ගම්මානයක් ඉදි කෙ‍රිණි. සංහිඳියාවේ ගම්මානයට තර්ජන එන්නට පටන්ගත්තේ ඉකුත් සැප්තැම්බර් මාසයේය. කිසියම් පිරිසක් පැමිණ සිංහල ගම්වැසියන්ට ගම්මානය අතහැර යන ලෙස කළ තර්ජනයට එරෙහිව වීදි බට ගම් වැසියෝ, ඒ නවය මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. තර්ජනය කළ පුද්ගලයා කොටි පිස්තෝල කල්ලියේ නායකයකු වන ‘සින්නවන්’ බවත්, ආරක්ෂක අංශ ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සුක නොවන බවත් පැවසිණි. දකුණේ භික්ෂූන් ඇතුළු පිරිසක් මෙම ගම්මානයට පැමිණ, සිදුවීම පිළිබදව කළ අර්ථකථන බොහෝ මාධ්‍යවල පළ කෙ‍රුණේ ජනතාව අතර වෛරී හැගීම් ඇති කරන ආකාරයෙනි.

එහෙත් අප කළ සොයාබැලීමේදී හෙළි වූයේ ජනප්‍රිය ආවේගශීලී අර්ථකථනවලට හාත්පසින්ම වෙනස් හේතුවක් ඒ සිදුවීම පිටුපස ඇති බවයි. එය වැරදි ලෙස ඉඩම් විකිණීම හා මිලට ගැනීම පිළිබද කතාවකි.

අනීතික ඉඩම් ගනුදෙනුව

සිංහල මෙන්ම දෙමළ ගම්වැසියන්ද යුධ ගැටුම් කාලයේ ‘සින්නවන්’ යනුවෙන් නම් පටබැඳි පුද්ගලයාට සිය ඉඩම් විකුණා තිබේ. ඔහු එවකට ඒ සදහා ඉහළ මිලක් ගෙවූ පුද්ගලයා විය. එසේ වුවද රජයේ බලපත්‍ර මත පදිංචියට ලබා දී තිබූ එම ඉඩම් විකිණීම හෝ මිලට ගැනීම නීත්‍යනුකූල නොවේ. ඉඩම් වල අයිතිය ඇත්තේ දිසාපතිවරයාටය. බලපත්‍ර හිමි පුද්ගලයා පදිංචිය හැර ගිය විට ඒවා නැවත රජයට හිමි වේ. මෙහිදී සිදු වී ඇත්තේ, නීත්‍යනුකූල නොවන ලෙස විකිණූ ඉඩම්, හිමිකරුවකු ‍නොමැති සේ සලකා දිසාපතිවරයා විසින්  ‘රණවිරු ගම්මානය’ සදහා ලබාදීමය.

මෙම ඉඩම්වල අයිතිය මුලින් පදිංචි වී සිටියේද, දැන් පදිංචිව සිටින්නේද සිංහල පවුල්ය. එහෙත් ඒවා නීත්‍යනුකූල නොවන අන්දමින් මිලට ගත් ‘සින්නවන්’ දෙමළ ජාතිකයෙකි. ඉන් එහා ගිය සිංහල-දෙමළ වාර්ගික පදනමක් එහි ඇති බවක් නොපෙනේ. ඉඩම් මෙන්ම මුදල්ද අහිමි කරගත් ‘සින්නවන්’ තමන් මිලදී ගත් ඉඩම්වල පදිංචිකරුවන්ට ඉන් ඉවත් වන ලෙස බලපෑම් කිරීම වරදක් වුවද එය වාර්ගිකත්වය පදනම් කරගත් ගැටුමක් ලෙස අර්ථකථනය කිරීමද වැරදිය.

කාශ්‍යප හිමියන් අවධාරණයෙන් කියා සිටින්නේ ගැටලුවට හේතු වී ඇත්තේ රජයේ පරිපාලන තීරණයක් බවය
කාශ්‍යප හිමියන් අවධාරණයෙන් කියා සිටින්නේ ගැටලුවට හේතු වී ඇත්තේ රජයේ පරිපාලන තීරණයක් බවය

මේ වන විට සින්නවන් හෙවත් පාක්කියනාදන් විශ්වනාදන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. සිදුවිම සම්බන්ධයෙන් ඔක්තෝබර් 2වැනිදා වව්නියාව පොලිසිය විසින් ඔහු සහ තවත් සගයකු අත්අඩංගුවට ගැනිණි. එහෙත් ළගදීම ඔහු ඇප මත යළි පැමිණෙනු ඇතැයිද ඉන්පසු කෝලාහල ඇතිවෙතැයිද ගම්වාසීන් තුළ අනියත බියක් පවතී.

මේ තත්ත්වය පිළිබදව කාශ්‍යප හිමියන් අවධාරණයෙන් කියා සිටින්නේ ගැටලුවට හේතු වී ඇත්තේ රජයේ පරිපාලන තීරණයක් බැවින්, ඒ සම්බන්ධයෙන් ඇති වන ගැටලු නිරාකරණය කර දීමද රජයේ වගකීමක් වන බවයි. ප්‍රාදේශීය ලේකම් හා මහ දිසාපති මැදිහත්ව ඉඩම් ගැටලුව විසදා පොදු පහසුකම් නොපමාව ලබාදිය යුතු බවද බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි වාතාවරණයක් ඇති කළ යුතු බවද උන්වහන්සේ පෙන්වා දෙති.

සංහිඳියාව බිඳවැටීම

සුජාතා ජයලත්, එම ගම්මානයේ පදිංචිකාරියකි. එහි පදිංචියට ආ හැටි ඇය මෙසේ සිහි කළාය.

‘‘ අපි මෙහෙ පදිංචියට ඇවිත් දැන් මාස හයක්. කලින් හිටියේ අනුරාධපුර පණ්ඩුලගම. මගේ මහත්තයා හමුදාවේ හිටපු කෙනෙක් නිසා අපිට මෙහෙ නිවසක් ලැබුණා. රටේ කොහේ වුණත් එකයි. දෙමළ අයත් රටේ හැම පළාතේම ඉන්නවා. සිංහල අය හැටියට අපිත් කැමතියි උතුරේ අපේ පරණ ගම් බිම්වල ජීවත්වෙන්න.”

තමන්ට එල්ල වූ තර්ජනය ගැන ඇය මෙසේ විස්තර කළාය.

”කණ්ඩායමක් ඇවිත් අපට කීවා ‘මේ ඉඩම් අපේ, උඹලා මේ ගමෙන් පිට වෙයල්ලා’ කියලා. ඊට පස්සේ අපි උද්ඝෝෂණය කළා. ඒ වෙලාවෙත් ඒ අය ඇවිත් අපේ අයට පහර දුන්නා. තුන්දෙනෙක් තුවාලවෙලා ඉස්පිරිතාලේ නැවැත්වුවා. ඒත් අපි සූදානම් නෑ මේ ගම දාලා යන්න. අපි රජයෙන් ඉල්ලන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කරලා අපිට ඉන්න පුළුවන් වාතාවරණය හදන්න කියලා.”

කොක්එළිය පදිංචි ඩී.එස්.ඩබ්ලිව්. බණ්ඩාර, එම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේම උපන්නෙකි. සිංහල-දෙමළ භාෂා දෙකම හොඳින් කතා කරන ඔහු, ජනවර්ග දෙක අතර සහජීවනය ගැන බෙහෙවින් සංවේදීය.

‘‘ මුල්ම කාලේ කොක්එළියේ සිංහල දෙමළ හැමෝම සහයෝගයෙන් තමා ජීවත් වුණේ. යුද්ධ කාලේ මේ අය භේදවෙලා ගියාට දැන් ආපහු ඇවිත් සමගිය ඇතිවෙමින් තිබෙන්නේ. මෙතන තියන්නේ ජාති ප්‍රශ්නයක් නෙවෙයි. පරිපාලන ප්‍රශ්නයක්. අපේ පරිපාලන කටයුතු කෙරෙන්නේ වව්නියාව දකුණ සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්. හැබැයි සමහර ඉඩම් කොටස් අයිති වව්නියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට. මේ නිසා සංවර්ධන කටයුතු අඩාළ වෙනවා. එදා  පවුල් හාරසීයක් හිටපු ගමේ අද ඉන්නෙ පවුල් ගණන සීයක් විතර. මෙහෙ අපි සුළු ජාතියක්. අපි ගැන නිලධාරීන්ගේ අවධානය මදි”

ජාතිවාදී කඩතුරාව

ගම් පැරණි පදිංචිකරුවන් පෙන්වා දෙන ආකාරයට, සාමය කඩවීමට මුල් වූ ඉඩම් විකිණීමේ ජාවාරමට වගකිවයුත්තෝද ඇතැම් ගම්වැසියෝමය. ඒ ඔවුනට හිමි ඉඩම් ව්‍යාපාරිකයන්ට විකුණන අයත් ඒ අයගේ තැරැව්කරුවනුත්ය. ඉඩම් විකුණන්ණෝද තැරැව් කරුවෝද සිංහල ජාතිකයෝය. මිලට ගන්නෝ  දමිළ ය. එහෙත් ඔවුන් ජාතිවාදීන් හෝ කොටි හිතවාදීන් යැයි කියන්නට සාධක නැත. එවැනි ලේබල ඇලවෙන්නේ මේ අවුල් නිරාකරණය කරන්නට බැරි වූ විට බව පෙනේ.

සුජාතා සහ බණ්ඩාර
සුජාතා සහ බණ්ඩාර

උදාහරණයක් ලෙස එම ගමේ එකම ඉඩම කීප දෙනෙකුට විකුණා මුදල් ලබාගත් අය සිටිති. එවැනි ගැටලු නීතියට පිටින් විසඳාගන්නට ගොස් ගැටුම් ඇති වූ අවස්ථා ගැනද අසන්නට ලැබේ.

එවැනි ගැටලු උග්‍ර වූ විට තම වරද වසාගන්නට ඇතැම් පුද්ගලයින් තවත් පිරිස් ඊට ඈඳාගෙන ජාතිවාදී හැඟීම් ඉස්මතු කළ අවස්ථාද ඇත. සැබෑම තත්ත්වය නම් මේ ඉඩම් විකුණන ලද පුද්ගලයින් තම ජනවර්ගයේ අයගේ පොදු හැඟීම් හා සාමූහිකත්වය පවා නොසලකන්නන් බව ය. ඔවුන් ඉඩම් විකුණන විට මුදල් ගැන මිස තම වර්ගයා ගැනද නොසිතති. වර්ගවාදය ගාවාගන්නේ වැඩේ වැරදුණු විටය. මේ නිසා වර්ගවාදයෙන් පතුරුවන  කටකතා ගැන තමන් දැන් ප්‍රවේශම් වන බව සාමයට ළැදි ගම්වාසීහු කියති.

ගැටලුවේ තවත් පැති

මේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් දකුණු සිංහල කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් එම්.එස්. ජානක මහතාගෙන් කළ විමසුමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ රජයේ බලපත්‍ර සහිතව ලබාදී ඇති ඉඩම් විකිණීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවයි. ඔහු ගැටලුවේ තවත් පැති හෙළි කළේය.

‘‘නැවත පදිංචි වූ අයට නිවාස, අභ්‍යන්තර මාර්ග හා වැව ඉදිකර දෙන්න අපි කටයුතු කළා. 1985දී අවතැන්වෙලා ගිය අය සමහරු දැන් නෑ. සමහරු වයස්ගතයි. ඒ අය ගමට ආදරෙයි. ඒත් ඒ අයගේ දෙවන තුන්වන පරම්පරාවල අය අනුරාධපුරය අවට ස්ථාවර වෙලා. දරුවන් යන්නේ එහෙ පාසල්වලට. ඒ අය උත්සාහ කරන්නේ ආපසු යන්න. මේ අයට අපි වව්නියාවේ ගාමිණි විද්‍යාලය සූදානම් කළා. මේ ගමෙත් පාසලක් හැදුවා. ඒත් ළමයි නෑ. මෙතන අලුත් ජීවිතයට හුරු‍වෙන්න බැරිකම මිස ජාතිවාදී ප්‍රශ්න නෑ.”

තම කාර්ය මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් අතර සිංහල මෙන්ම දෙමළ අයද සිටින බවත් පොදු තීරණවලදී  ජාතිවාදී කෝණවලින් නොබලා නීත්‍යනුකූලව කටයුතු කරන බවත් ඔහු පැවසුවේය.