Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

විසල් ලෝකයට පාර සොයන
‘කුඩාගම’

එදා එහි තිබුණේ අතීත සම්ප්‍රදාය රැකගැනීමත්- නූතන ලෝකය හා එක්වීමත් පිළිබද අනවරත අරගලයකි. එහෙත් අද ඇත්තේ අතීතයෙන් ගැළවී වර්තමානය තුළ දෙපා රඳවාගැනීමේ අරගලයකි.

11.02.2017  |  
අනුරාධපුර දිස්ත්‍රික්කය
හුදු මානුෂීය උත්සාහයන්ගෙන් ඔබ්බට ගිය විධිමත් වැඩපිළිවෙළක් ඔවුන් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ව තිබේ.

”තාත්තේ, ඔයා මේ සැරේ ගෙදර ආවේ මාසෙකට පස්සේ. අපේ ඉස්කෝලේ පංති රැස්වීමට ආවෙත් නෑ. ටීචර් ඒ ගැන ඇහුවම මං කිව්වා තාත්තාට ඔෆිස් එකේ නිවාඩු දෙන්නේ නෑ කියලා. ඕං මේ සැරේ වැඩට යන්ඩ කලින් මාත් එක්ක ඉස්කෝලේට ගිහින් අපේ ටීචර් හම්බවෙන්න ඕනෑ…”

ඒ සොදුරු ආඥාව අට වසරේ ඉගෙනුම ලබන දියණියකගෙනි.

දියණිය වැළඳගත් පියා ‘අනේ පැටියෝ මට නිවාඩු නෑ තමා’ යි කියමින් කියමින් ඉතිරි  වචන ගිළගත්තේය. කුටුම්බ ජීවිතයේදී ඔහු එවැනි දුෂ්කර අවස්ථා බොහෝ ගණනක් පසු කර තිබේ.

මේ පියා දකුණු වෙරළ තීරයේ එක්තරා සංචාරක පාරාදීසයක විදේශිකයින්ට රිලා නැටුම් පෙන්වමින් ජීවනෝපාය සරිකරගන්නා සුහදශීලි පුද්ගලයෙකි.
මේ පියා දකුණු වෙරළ තීරයේ එක්තරා සංචාරක පාරාදීසයක විදේශිකයින්ට රිලා නැටුම් පෙන්වමින් ජීවනෝපාය සරිකරගන්නා සුහදශීලි පුද්ගලයෙකි.

මේ පියා දකුණු වෙරළ තීරයේ එක්තරා සංචාරක පාරාදීසයක විදේශිකයින්ට රිලා නැටුම් පෙන්වමින් ජීවනෝපාය සරිකරගන්නා සුහදශීලි පුද්ගලයෙකි. හේ නිර්ව්‍යාජය. එහෙත් සංචාරක අඩවියේදී සිය ගම ගැන කතා නොකරන්නටත් ගමේ දී තමා කරන රැකියාව ගැන නොකියන්නටත් ඔහු පරිස්සම් වෙයි.

සිය දරුවන් බලන්නට අවශ්‍ය විට ඔහු තම වෘත්තීය සගයින් වන රිලවා හා පිඹුරා විශ්වාසදායී තැනක තබා නිවසට යයි. දියණිය ඉගෙන ගන්නේ ජනප්‍රිය පාසලකය. ඔහු සිය ජීවිතයේ අග මුල සඟවන්නේ ජාති භේද කරපින්නාගත් සමාජයට තමා තෙළිඟු ජනවර්ගිකයෙකු බව වසන් කර තම දියණියට සමාජයෙන් එල්ලවිය හැකි කොන්කිරීම වැළැක්වීමටය. පරණ සරමයි බැනියමයි ඇඳ, වෙරළ තීරයේදී රගපෑ චරිතයෙන් මිදෙන මේ පුද්ගලයා කලිසම් කමිස ජේත්තුවට ඇඳ, දියණිය හා බිරිය බැලීමට යන්නේ උදාර පුරුෂයෙකු විලාශයෙනි.

ඔහුගේ කතාව, ශ්‍රී ලංකාවේ වෙසෙන කොන්කිරීමට ලක් වූ සුළුතර ජනවර්ගයක් වන ‘තෙලිගු වංශිකයන්ගේ’ වත්මන් ජීවිතය දෙස එබී බලන්නට අප පොළඹවාලූ අපූරු නිමිත්තකි.

ගෝත්‍රික අතීතය

ඔහුගේ ගම, ශ්‍රී ලංකාවේ තෙලිගු වංශිකයන් වැඩිම පිරිසක් ඒකරාශී වී සිටින තඹුත්තේගම  ‘කුඩාගම’ ය. එය ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයෙහි ‘උදාගම්’ වැඩපිළිවෙළ යටතේ ඉදි වූවකි. ඊට පෙර ඔවුන් සිටියේ කුඹුක්වැව නම් ගම්මානයකය. තෙළිඟු පවුල් තිහක් පමණ එහි ජීවත් වූහ. එය ගෝත්‍රික ජීවිතයකි. ප්‍රදේශයේ සාමාන්‍ය සිංහල ගැමි ජන සමාජයයේදී මේ කූඩාරම්ගත වාසීන්ට ලැබුණේ පහත් සැලකිල්ලකි. එහෙත් අභිමානවත් තෙළිඟුවෝ තම සංස්කෘතියේ හර පද්ධතීන් ආරක්ෂා කරගනිමින් තම අණන්‍යතාවය රැකගත්හ. සිංහල හෝ දෙමළ සමාජයට වඩා තමන් උසස් බව එහි නායකයෝ සිතූහ. කිසිවෙකු හෝ සිංහල දෙමළ සමාජයෙන් විවාහ වුවහොත් රැහෙන් නෙරපීමට ඔවුහු වග බලාගත්හ. එනමුත් කාලීනව එල්ල වූ අභියෝග හමුවේ ජීවත් වීමේ අරගලයේදී ගෝත්‍ර ජීවිතයෙන් මිදීමට ඔවුන්ට අවශ්‍ය විය.

ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉටු කර දුන්නේ ඒ අවශ්‍යතාවයි. එදා ‘කුඩාගම’ අද ලොකු ගමකි. එදා පවුල් තිහ වෙනුවට අද පවුල් තුන්සීය ඉක්මවා ඇති බව රැහේ නායක කේ.ආර්.ඒ. පොඩි මහත්තයා කියයි.

‘කුඩාගම’ පමණක් නොව එහි ගෙවල්ද ලොකු වී ඇත. අනූව දසකය පමණ වන විට ස්ථිර නිවාස යම් දුරකට පැතිරී කූඩාරම් තත්ත්වයේ පැල්පත්ද තිබූ නමුත් අද වන විට ප්‍රදේශයේ සාමාන්‍ය සිංහල හෝ දමිළ ගමකට වඩා දියුණු නිවාස පවා කුඩාගමේ ඇත. ගත වූ කාලය පුරා බොහෝ දෙනා ඉතා වේගයෙන් සිය සංස්කෘතිය අතහරිමින් පොදු සමාජයට එක් වූ නමුත් ආර්ථික බාධක හමුවේ ලොව ජය ගැනීමට හැකි වූයේ අල්ප පිරිසකටය. කුඩාගම විදුහල අද වන විට විශාල ශිෂ්‍ය පරපුරකට ලෝකය විවෘත කර ඇත.

ජාතික ජාත්‍යන්තර තලවලට ගිය මලල ක්‍රිඩක ක්‍රීඩිකාවෝ, හමුදා වෘතිකයෝ සහ ව්‍යාපාරිකයෝද බිහි වූහ. තමන්ටද ලොව ඉදිරියට යා හැකි බව මේ උදාහරණවලින් ඔවුන් ඔප්පු කර තිබේ.

තරුණ පරපුරේ අභියෝග

එහෙත් පැරණි සමාජ රාමුවේ අකැමැත්තෙන් හෝ සිර වූ විශාල පිරිසක් වෙති. ඒ අතර ඔවුන්ගේ පාරම්පරික රැකියා වන අතබලා ශාස්ත්‍ර කීම හෝ සතුන් පෙන්වා මුදල් සෙවීම ජීවිකාවෘත්තිය කරගත් පවුල් පනහක් හැටක් පමණ වෙයි. මේ අය පාරම්පරික රැකියාව කරන්නේ වෙන කරන්නට දෙයක් නැති නිසා මිස සම්ප්‍රදාය රැකගැනීමට නොවන බව පැහැදිලිය.

කාලීනව එල්ල වූ අභියෝග හමුවේ ජීවත් වීමේ අරගලයේදී ගෝත්‍ර ජීවිතයෙන් මිදීමට ඔවුන්ට අවශ්‍ය විය.
කාලීනව එල්ල වූ අභියෝග හමුවේ ජීවත් වීමේ අරගලයේදී ගෝත්‍ර ජීවිතයෙන් මිදීමට ඔවුන්ට අවශ්‍ය විය.

පූජා නගරවල හෝ ගම්මානවල ඇවිද පාරම්පරික වෘත්තියෙන් දිවි රැකගන්නා අය සේම, මසුන් අල්ලා ජීවනෝපාය සකසාගන්නා පිරිසක්ද, බස් රථවල පොත් විකුණා ජීවිත ගැටගසා ගන්නා පිරිසක්ද මේ අතර වෙති. ඊට අමතරව කිසිම රැකියාවක් නැති තවත් තරුණ තරුණියෝ පනහක් හැටක් මෙන්ම ගැහැණු පිරිමි සිය ගණනක් මේ ගමේ සිටිති. දිනේෂ් කුමාර (25) ඒ ගැන කම්පා වන තරුණයෙකි.

”රැකියාවල් නැති කමත් එක්ක ගමේ මත්ද්‍රව්‍ය පතිරෙනවා. පාසල් ළමුන් ගොදුරුවෙනවා ඒවාට. සාමාන්‍යයෙන් අපේ අය එහෙම කරන්නේ නෑ. අපේ රැහේ නායක තුමාගේ අණට කීකරු වෙලා ඉන්නවා. ඒත් අවට ගම්වලින් එහෙම දේවල් බෝ කරනවා. මේ හැමෝම කැමතියි රස්සාවක් කරන්න. අපේ ගමේ බොහෝ දෙනා සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත් වෙලා ඉන්න අය. බර වාහන ලයිසන් තියන අය ඉන්නවා. දක්ෂ රියදුරෝ ඉන්නවා. මේ අයගේ ශ්‍රමයෙන් රටට වැඩක් ගන්න කියලා තමා අපි ඉල්ලන්නේ”

තෙළිඟු ජන සංස්කෘතිය රැකගැනීම වෙනුවෙන් ගමේ ඉදි කර ඇති සංස්කෘතික මධ්‍යස්ථානයේ රැකියා අවස්ථා කීපයක් ගමේ උගත් තරුණ තරුණියන්ට ලබාදී එම මධ්‍යස්ථානය සංචාරකයින්ට හඳුන්වාදෙන ලෙස තමා රජයෙන් ඉල්ලන බව දිනේෂ් කියා සිටියේ ය.

කුඩාගම බෞද්ධ සමිතියේ නායකයෙකු වන ලාල් දිසානායක ද තරුණ විරැකියාවට විසදුම් අවශ්‍ය බව අවධාරණය කරයි.

”දැන් කාලේ දරුවෝ අපේ පරණ රස්සාව කරන්න ලෑස්ති නෑ. මගේ දුව විභාග පාස් වෙලා රස්සාවක් නෑ. දැන් දහම් පාසලේ උගන්නනවා. මේ ළමයින්ට රස්සා තමා ඕනෑ.”

සමස්ත ලංකා තෙළිඟු සංස්කෘතික සංවිධානයේ ලේකම් ඩී. නිමල් කියා සිටියේ දේශපාලන අධිකාරිය සමග මෙවැනි දේ ගැන සාකච්ඡා කරතත් ඔවුන් ඒ ගැන සිතන ප්‍රමාණය පටු බවයි.

කුඩාගම රැහේ නායක පොඩි මහත්තයාද මේ ගැන බොහෝ උනන්දුවන්නෙකි.

“මගෙත් දරුවෝ හතර දෙනෙකුට රස්සා නෑ. ගමේම සීයකට වැඩිය ඉන්නවා රැකියා බලා පොරාත්තුවන අය. මම රජයෙන් ඉල්ලලා තියනවා මේ අයට වඩු කර්මාන්තය, මේසන් වැඩ වාගේ මොනවා හරි පුහුණුවක් දෙන්න කියලා. කීප දෙනෙක් ගාමන්ට් රස්සවල්ට ගිහින් ඉන්නවා. පිට රට ගිය අයත් ඉන්නවා.ඒ වගේම සාත්තර කියන අයත් ඉන්නවා.

මගේ මල්ලිගේ පුතා හමුදාවේ හිටියා. තව දරුවෙක් හෝටලයක වැඩ කරනවා. මේ හැමෝම කැමති රටේ හොඳ පිළිගත් රස්සාවල් කරලා දියුණුවෙන්න. ඇයි ඒකට අවස්ථාවක් සලසලා දෙන්න බැරි?”

පුදබිමේ ආර්ථිකය

ඔවුන් ගේ ජීවිත පිළිබද සජීවී චිත්‍රයක්, විශේෂ පිංකම් දිනවල අනුරාධපුර පුද බිමේ දී දැකිය හැකිය. ටී. අනුලා එහිදී අපට හමු වූ කුඩාගම පදිංචිකාරියකි. 58හැවිරිදි ඇය, අත බලා ශාස්ත්‍ර කීම ඇරඹුවේ වයස 16දී බව පැවසුවාය.

” අපි ඉරිදායි සෙනසුරාදායි තමා මෙහෙ එන්නේ. අනෙක් දවස්වල ගෙදරට වෙලා ඉන්නවා. ළමයි ඉස්කොලේ යන නිසා. පිරිමි අය කුලී වැඩට යනවා. අහවල් රස්සාව කියලා නෑ. කුලී වැඩක් නැති අය මාළු බිලීබාන්න යනවා. මෙහෙම ආවාම කියක් හරි හොයා ගන්නවා”

man-with-monkey
සිය ගම ගැන කතා නොකරන්නටත් ගමේ දී තමා කරන රැකියාව ගැන නොකියන්නටත් ඔහු පරිස්සම් වෙයි.

සෙනසුරාදාවක බසවක්කුලම වැව පාමුල මේ කාන්තා රැහේ තරුණියන් අතර හිටි කටකාර යුවතියකි සුජීවා.  පූජා නගරයට බොහෝ සෙනග පැමිණියත් ශාස්ත්‍රයක් අසන්නට කැමති වෙන්නේ කලාතුරකින් කෙනෙකු බව ඇය කිවාය. ”සෙනග හිටියට සාත්තර අහන්න නෑ… සමහර දවස්වලට හිස් අතින්ම ආපහු යනවා.”

බුද්ධ රූප විකුණමින්  පාසල් යන්න පොත් ගන්න කීයක් හරි දෙන්නැයි ආයාචනා කරන දරුවෙකි. වයස අවුරුදු දොළහක් වන ඔහු ෂාරූක් ය. මව තවත් අත දරුවෙකු ද සමග ශාස්ත්‍ර කියයි. මේ සමස්ත පිරිස තිහකට වැඩිය. එකා දෙන්නා බැගින් තැනින් තැනට ගොස් වන්දනා කරුවන්ට කන්නලව් කරති.

කුඩාගම වැසියන් සමග තමා බොහෝ ළෙංගතු කමින් කටයුතු කරන බවත්, ඔවුන්ගේ අඩුපාඩු නිරතුරුව සොයා බලන බවත් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් රේණුකා වන්සේකර මහත්මිය කීවාය. එහෙත් ඒ ඇයට ලැබෙන ප්‍රතිපාදන හා ඇගේ බල සීමාවට අනුවය. මේ දිනවල ඔවුන් පසු වන පානීය ජල හිඟයටද විසඳුමක් ලබා දීමට බලාපොරොත්තු වන බව ඇය කීවාය.

එහෙත් හුදු මානුෂීය උත්සාහයන්ගෙන් ඔබ්බට ගිය විධිමත් වැඩපිළිවෙළක් ඔවුන් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ව තිබේ.