Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අසල්වැසියා මට පෙනෙන හැටි:
හොඳම යාළුවා දෙමළ එක්කෙනෙක්

අපේ රටේ අනාගත පරපුර, තම රටේ ජීවත් වන අන්‍ය ජාතීන් ගැන හිතන්නේ කොහොමද? මෙතැන් සිට පළ වන කෙටි සම්මුඛ සාකච්ඡා මාලාව, ඒ ගැන තේරුම්ගැනීමට දැරූ වෑයමක ප්‍රතිපලයකි. සිංහල පාසල් දරුවන් දෙමළ ජාතිකයන් ගැන හිතන හැටිත්, දෙමළ පාසල් දරුවන් සිංහල ජාතිකයන් ගැන හිතන හැටිත්, ඔවුන් අතර ඇති සබැඳියාවෙහි ස්වරූපයත් මෙයින් පිළිබිඹු වෙයි.

03.08.2017  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

ඞී. එම්. අවිශ්කා ඩිලානි
බ/ ඇල්ල ආදර්ශ විද්‍යාලය
10 ශ්‍රේණිය

ඔයා ගැන විස්තර ටිකක් කියන්න කැමතිද?
මම පදිංචිවෙලා ඉන්නෙ යාලවෙල කියන ගමේ. අපේ පවුලෙ 4දෙනයි. අම්මයි, තාත්තයි, අක්කයි, මමයි. මම මේ අවුරුද්දේ ඕ ලෙවල් ලියනවා

ඔයාට දෙමළ යාළුවෝ ඉන්නවාද?
අපෝ ඔව්. මගේ හොඳම යාළුවත දෙමළ එක්කෙනෙක්. එයා මගේ පන්තියේමයි. දෙමළ යාළුවෝ කිහිප දෙනෙක්ම ඉන්නවා.
මොනවද එයාලගේ නම්? සශීකුමාර් හෂීණි මධුභාෂිණි

එයාලා දෙමළ වුණාට, නම් සිංහල නම්වලට හුරුයි නේ?
ඕව් එයාලා දෙමළ වුණාට සිංහල නම් තමයි දාලා තියෙන්නේ. එයාලා ඉගෙන ගන්නෙත් සිංහල භාෂාවෙන්. වැඩිපුරම කථා කරන්නෙත් සිංහලෙන්.

කොහොමද ඔයාට හොඳම යාළුවා මුලින්ම හමුවුණේ?
මාත් එක්කම තමයි ස්කෝලෙට ඇතුළු වුණේ. එකම දවසේ, එකම පන්තියට. එදා ඉඳලා අපි දෙන්නා හරිම යාළුයි.

ඔයා සිංහල වුණාට ඔයාගේ හොඳම යාලූවා දෙමළ… කොහොමද එහෙම වුණේ ? මොකක්ද එයාගේ විශේෂත්වය?
ම්… ම්… ම්… මධුභාෂිණි හරිම හොඳයි. ගතිගුණ හොඳයි. හැම වෙලාවෙම සතුටින් ඉන්නවා. එයාගේ ගතිගුණවලට මම කැමතියි.

ඔයාගේ අනාගත සහකරු දෙමළ ජාතිකයෙක් වේවිද?
නැහැ…. එච්චරම අවශ්‍ය නැහැ. නමුත් දෙමළ අයත් එක්ක සහෝදරකම් තියාගන්න මං කැමතියි.

මොකද්ද විශේෂත්වය?
දෙමළ අයගේ චාරිත්‍ර-වාරිත්‍රවලට, කෑමබීමවලට, ඇඳුම්වලට මං කැමතියි.

අකමැති වෙන්න හේතුව මොකක්ද ?
ජාතිය ආගම වෙනස් නේ. විවාහ වුණේ නැති වුණාට මම කැමතියි සහෝදරයෝ වගේ ඉන්න.

ඔයාට දෙමළෙන් කථාකරන්න පුළුවන්ද?
කොංඤ්ඤන් කොංඤ්ඤන් පුළුවන්.

මහපාරෙදි නාදුනන පුද්ගලයෙකු මුණගැහුණාම ඒ පුද්ගලයා සිංහලද දෙමළ ද කියලා හදුනාගන්නේ කොහොමද ?
එයාලගේ ඇඳුමෙන්, ආභරණ වලින්, ගැහැණු අය නම් පොට්ටුවෙන්.

ඔයා කැමති, අගය කරන යම්කිසි දෙමළ පුද්ගලයෙක් ඉන්නවාද?
ම්… සමස්තයක් විදියට දෙමළ නළු නිළියන්ට කැමතියි. ඒ වගේම මෙහේ 3 කණුවේ ගණදෙවි කෝවිලේ නායක පුසාරිතුමාට කැමතියි, මොකද එයා කිසිම භේදයක් බලන්නේ නැතිව හැමකෙනාටම උදව් උපකාර කරනවා. හැමකෙනාටම එක හා සමානව සේවය කරනවා.

එහෙම කොහොමද කියන්නේ ?
අපි බෞද්ධ වුණාට ඒ ගණදෙවි කෝවිලට යනවා පුජා තියන්න. ඒ නිසා අපි දන්නවා.

පොදුවේ ඔයා මොනවද හිතන්නේ දෙමළ සිංහල මුස්ලිම් අය ගැන ?                                                                                               හැමදෙනාම එකමුතු කමින් සාමයෙන් ජීවත් වෙන්න ඕනේ. එතකොට හැමකෙනා ළඟම හැමදාම සතුට, සමාදානය පවතිනවා.