Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

උතුරු නැඟෙනහිර වැඩි ම ඉල්ලුමක් ඇති
සිංහල කතා කරන පංති

රටේ මුළු ජනගහනයෙන් 70% වඩා සිංහලයන් වෙසෙන රටක සිංහලෙන් කථා කිරීමට ඉගැන්වීම එස්කිමෝවරුන්ට අයිස් විකිණිම තරම් හාස්‍යජනක වුවද, අද වන විට උතුරු නැගෙනහිර බොහෝ පෙදෙස්වල SPOKEN SINHALA පංතිවලට ඇත්තේ, මහත් වූ ඉල්ලුමකි. සිසුන් බොහොමයක් සිංහල විෂය ධාරාව අත හැර වෙනත් විෂයන්වලට යොමුවන තත්ත්වයක, උතුරු නැගෙනහිර පෙදෙස්වල දෙමළ දරුවන් සිංහල විෂය ඉගෙනීමට දරන උත්සාහය සාධනීය ප්‍රවණතාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

22.07.2019  |  
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

අතිශය බහුතරයක් දෙමළ ජාතිකයන් වෙසෙන යාපනයේ සිංහල පංතිවලට ඇත්තේ, මහත් වූ ඉල්ලුමකි. යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට SPOKEN SINHALA ටියුටරියක් පවත්වා ගෙන යන ශ්‍රී රංජන් මහතා යාපනයේ ප්‍රකට සිංහල ගුරුවරයෙකි. යුද ගැටුම් හේතුවෙන් දැවී අළු වී ගිය යාපනය සිංහල මහා විද්‍යාලයේ ආදි සිසුවකු වූ ශ්‍රී රංජන් මහතා යාපනයේ ප්‍රකට දෙමළ පාසල් අමතක කොට සිය මාපියන් තමා සිංහල පාසලකට යොමු කිරීම පිළිබඳ කථා කරන්නේ ආඩම්බරයකිනි. යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට SPOKEN SINHALA ටියුටරියක් පවත්වා ගෙන යාමට තමා එකල ලත් සිංහල අධ්‍යාපනය මහත් පිටුබලයක් වූ බව නොරහසකැයි ඔහු කියයි.

දකුණේ SPOKEN ENGLISH  පංතිවලට මෙන්  යාපනයේ SPOKEN SINHALA පංති ගැන ප්‍රචාරණයට සමනළ වර්ණ ප්‍රචාරක පුවරු හා වෙළෙඳ දැන්වීම් වුවමනා නැත. හැම පංතියකම අවශ්‍ය තරමටත් වඩා සිසුන් ය. ශ්‍රී රංජන්ගේ පංතියට ද එසේම ය. පාසල් සිසුන්ට හා විශ්ව විද්‍යාල සිසුන්ට අමතරව, රජයේ නිලධරයන්ට, නීතිඥවරුන්ට මෙන්ම වෛද්‍යවරුන්ටද තමා සිංහල උගන්වන බව ශ්‍රී රංජන්  කියන්නේ ආඩම්බරයකිනි. පාසල් අධ්‍යාපනයෙන් පසු කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ විගණක අංශයේ  සේවය කළ ඔහු, සිමෙන්ති කම්හල වසා දැමීමෙන් පසු, දරුණු යුද ගැටුම් පැවති සමයේ සිසුන් හතර පස් දෙනෙකුගෙන් ආරම්භ කළ යාපනයේ සිංහල SPOKEN SINHALA පංතිය අද වන විට සිසුන් විශාල පිරිසකට සිංහල බස ඉතා සරලව හා ඉක්මනින් උගන්වන තක්සලාවක් මෙන්ම, සංහිඳියාවට මඟ තනන පාලමක් ද වී හමාර ය.


දකුණේ SPOKEN ENGLISH  පංතිවලට මෙන්  යාපනයේ SPOKEN SINHALA පංති ගැන ප්‍රචාරණයට සමනළ වර්ණ ප්‍රචාරක පුවරු හා වෙළෙඳ දැන්වීම් වුවමනා නැත. හැම පංතියකම අවශ්‍ය තරමටත් වඩා සිසුන් ය.

“මගේ පූර්ණ කාලීන රැකියාව යාපනයේ සිංහල උගන්වන එක. සාමාන්‍යයෙන් මගේ එක පංතියකට ළමයින් තිහක් විතර ඉන්නවා. ඊට වඩා ළමයින් හිටියත්, මං ගන්නේ ඒ ප්‍රමාණය පමණයි. ඉංග්‍රිසිවලට වඩා සිංහල උගන්වන එක ටිකක් අසීරුයි. සිංහල කියන්නේ, වියත් භාෂාවක්. SPOKEN ENGLISH වගේ නෙමෙයි සිංහල උගන්වන්න අමාරුයි. කොහොම වුණත්, යාපනයේ දෙමළ ළමයි සිංහල ඉගෙන ගන්න ලොකු උනන්දුවක් තිබෙන බව කියන්නම ඕනේ.මේ තත්වය අපි අතර තිබෙන විරසකය අවම කරන්න ලොකු පිටුවහලක් වෙනවා..“ යි ඔහු කියයි.

යාපනය සිංහල මහා විද්‍යාලයේ ස්වර්ණමය යුගය වූ හැත්තෑව හා අසූව දශකයේ එහි කීර්තිමත් සිසුවකු වු ශ්‍රී රංජන් මහතා විවිධ ක්ෂේත්‍ර හරහා සිය දක්ෂතා එළි දැක්වූවෙකි. එකල යාපනයේ පාසල් අතර හොඳම වොලිබෝල් කණ්ඩායම මෙන් ම හොදම ශිෂ්‍ය භට කණ්ඩායම වූයේද, යාපනය සිංහල මහා විද්‍යාලයයි. ශ්‍රී රංජන් ඒ සියල්ලේ ම මුල් පෙළේ සාමාජිකයෙකි. ශ්‍රී රංජන් සංහිඳියාවෙන් සපිරි ඒ අතීතය උතුරේ යළි දකින්නට පතන්නෙකි.

ශ්‍රී රංජන් හා කේ.නඩේෂන්

යාපනයේ පිහිටි  ශ්‍රී රංජන් ගේ සිංහල කථා කරවන පංතියට පැමිණෙන පිරිස් අතර, වයස අවුරුදු 50 ඉක්මවු අය ද සිටීම විශේෂත්වයකි.

“යාපනේ දෙමළ මිනිස්සු යමක් මහන්සි වෙලා ඉගෙන ගන්න උපන් හපන් අය. සමහරක් අය අවුරුදු 50 පැනලත් සිංහල කථා කරවන පංතිවලට එන්නේ, මැරෙන්න කලින් සිංහල කථා කරන්න ඕනේ කියන හැඟීමෙන්..“ යි ශ්‍රී රංජන් සිය ගෝලයන් ගැන මහත් වූ අභිමානයකින් කථා කරයි.

යාපනය සිංහල මහා විද්‍යාලයේ අවසන් විදුහල්පතිවරයා වූ කේ.නඩේෂන් මහතා ද වර්තමානයේ යාපනයේ ප්‍රකට සිංහල ගුරුවරයෙකි. දංකොටුව දුම්මල කොටුව මහ විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන නඩේෂන් මහතා, 1970 වසරේ දී සිංහල උප ගුරුවරයෙකු ලෙස පළමු පත්වීම ලබන්නේ, යාපනය චාවාකච්චේරියේ ග්‍ර්වල් කොලෙජියටය. අනතුරුව යාපනය සිංහල මහා විද්‍යාලයට මාරුවීමක් ලැබ පැමිණෙන නඩේෂන් මහතා දිගු කලක් එම විද්‍යාලයේ සේවය කර, 1993 වසරේ දී එහි විදුහල්පතිවරයා ලෙස පත්ව තිබේ. ඒ වන විටත්, එහි දෙමළ සිසුන් 70 ක් පමණ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලද බව නඩේෂන් මහතාගේ මතකයයි. 1994 වසරේදී යාපනය සිංහල මහා විද්‍යාලයේ අවසාන සිසු පිරිස අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු පාසල වසා දැමීමට බළධාරීන් කටයුතු කල බව නඩේෂන් මහතා කියා සිටියි.

එරබද්දගොඩසිංහගේ පියදාස

පසු කලක සේවයෙන් විශ්‍රාම යන නඩේෂන් මහතා මෙන් ම එරබද්දගොඩසිංහගේ පියදාස මහතා ද මේ වන විට යාපනයේ දෙමළ දරුවන්ට මෙන්ම රාජ්‍ය සේවකයන්ට ද සිංහල උගන්වන්නේ, සිංහල මහා විද්‍යාලයේ වැසී යෑමේ හිඩැස සපුරාලන්නට මෙනි.

“යාපනයේ දෙමළ අය සිංහල භාෂාවේ අගය හොදට දන්නවා. ඒ වගේම තමයි, එයාලා හිතනවා සිංහල දැන ගෙන සිටීම ලොකු ගෞරවයක් විදියට. යාපනේ ස්කෝලවල සිංහල උගන්වන ගුරුවරුන්ගේ ලොකු හිඟයක් තිබෙනවා. මේ නිසා ඒ ළමයි ටියුෂන් ක්ලාස් වලට යොමු වෙනවා. දැන් යාපනේ සිංහල උගන්වන අය වැහි වැහැලා.නමුත්,භාෂාවක් උගන්වන එක ලොකු භාර ධුර කාර්යයක්. විශේෂයෙන් සිංහල භාෂාව රසවත්. ඒක හිතට හරියට වැදුණොත්, ආයේ කවදාවත් අත අරින්නේ නැහැ. ඒ අදහසින් මිසක් ව්‍යාකරණ ටිකක් කියා දීලා සල්ලි හොයන බලාපොරොත්තුවෙන් සිංහල උගන්නන්න හොද නැහැ.“ යි නඩේෂන් මහතා කියයි.

ත්‍රීකුණාමලය ඩයික් වීදියේ පදිංචි මොහොමඩ් හිලාලි සහ ඔහුගේ බිරිය චමිලා වජිරපානි ත්‍රීකුණාමලයට SPOKEN SINHALA නමින් නව ආරක ටියුෂන් කලාවක් හදුන්වා දෙන්නේ, මෙතෙක් කලක් පැවති සම්ප්‍රදායික සිංහල උගන්වන පංති අභියෝගයට ලක් කරමිනි. වෘත්තියෙන් ගණිත ගුරුවරයෙකු වු මොහොමඩ් හිලාලි මේ වන විට සිය වෘත්තිමය විෂයට වඩා මුල් තැනක් දී කටයුතු කරන්නේ, සිය බිරිය  පවත්වාගෙන යන SPOKEN SINHALA පංතියටයි.

“මගේ බිරිය  මුලින්ම පටන් ගත්තේ, සිංහල ළමයින්ට ශිෂ්‍යත්ව පංතියක්. ඔය අතරේ අපේ ගෙදර ඉස්සරහ හිටිය දෙමළ පිරිමි ළමයෙක් මොරටුව කැම්පස් එකට තේරුණා. ඒ ළමයට කැම්පස් යන්න කලින් සිංහල ටිකක් උගන්නන්න කියලා එයාලගේ මාපියන් කළ ඉල්ලීම තමයි, මේ SPOKEN SINHALA පංතියේ අඩිතාලම වෙන්නේ..“

චමිලා වජිරපානි හා මොහොමඩ් හිලාලි

එක් දරුවෙකුගෙන් ඇරඹි වූ චමිලා වජිරපානි මහත්මියගේ කථා කරන සිංහල පංති ඉතා කෙටි කලකින් අතු පතර විහිදුණු මහා වෘක්ෂයක් ‍සේ වැඩෙන්නේ, ඇයට තනිව පංතිය පවත්වාගෙන යා නොහැකි අන්දමිනි. ඒ නිසාම මෙතෙක් කලක් වෘත්තිමය ගණිත ගුරුවරයෙකු වූ හිලාලි මහතා ද සිය බිරිය හා එක් වෙන්නේ, SPOKEN SINHALA පංතියට වැඩි ඉඩකඩක් සලසමිනි. ඊට ඇයගේ සිංහල මාධ්‍ය  යෙන් ඉගෙනුම ලද දියණියන් දෙදෙනා ද මනා සහයක් දෙන්නී ය.

“හිලාලි එක්ක විවාහ වෙද්දී මං දෙමළ දන්නේ නැහැ. එහෙම වුණා කියලා මගේ මහත්තයා මට දෙමළ බලෙන් උගන්නන්න උත්සහ කළෙත් නැහැ. එයා කිව්වේ,ඔයා නිකම්ම පුරුදු වෙයි කියලා. මහත්තයාගේ තාත්තා ලෝයර් කෙනෙක්. හැබැයි,එයාට සිංහල බැහැ. මං මුලින්ම තාත්තට සිංහල කතා කරන්න ඉගැන්නුවා.එතනදී තමයි, මමත් දෙමළ ඉගෙන ගත්තේ. ඊට පස්සේ මං දෙමළ හොඳට අල්ල ගත්තා. මං ඉස්සෙල්ලාම සිංහල උගන්නපු ළමයා අද ඉංජිනේරුවෙක්. එයා දැන් සිංහල කෙනෙක් වගේම වෙනසක් නැතිව සිංහල කථා කරනවා. ඒක මට ලොකු සතුටක්..“ යි චමිලා වජිරපානි මහත්මිය අතීතය සිහි කරන්නේ මහත් වූ තෘප්තියකිනි.

“බුද්ධිමත් දෙමළ අය එයාලගේ දරුවන්ට දෙමළ උගන්නන්න සෑහෙන්න වද වෙනවා. ඒකට හේතුව තමයි, ලංකාවේ ඉන්නවා නම්, සිංහල භාෂාව අනිවාර්යෙන්ම දැන ගත යුතු වීම.  අපේ ළමයි මුස්ලිම් වෙලා සිංහල භාෂාවට වගේ ම බුද්ධ ධර්මයටත් ඒ සමාර්ථ ගනිද්දි අපි තරම් සතුටු වෙන  මාපියන් තවත් ඉන්න පුළුවන්ද? අපි ගාවට ආපු එකම ළමයෙක්වත් මේ වන තුරු දෙවන භාෂාව අසමත් වෙලා නැහැ. මං හිතන්නේ ඒ දෙමළ ළමයින්ට සිංහල ඉගෙන ගන්න තියෙන තදබල වුවමනාව නිසයි ඒ“ මොහොමඩ් හිලාලි මහතා දෙමළ ජනතාවගේ අපේක්ෂා ගැන පවසයි.

“මේ වෙන කොට සිංහල ඉගෙන ගන්න ආණ්ඩුකාර ලේකම්ලා, වෛද්‍යවරු, රජයේ උසස් නිලධාරින්  අපේ SPOKEN SINHALA පංතියට ඇවිත් තියෙනවා. එයාලා අපි කොහෙදි හරි හම්බ වුණත්, හොඳින් සලකනවා.ඒක අපිට ලොකු සතුටක්. ඒ සතුට කවදාවත් සල්ලිවලට ගන්න බැහැ..“

මොහොමඩ් හිලාලි හා චමිලා වජිරපානි එලෙසින් අපට කියා දෙන්නේ සල්ලි දී හෝ ඉගෙන ගත නොහැකි පාඩමකි.