අසල්වැසියා නොපැමිණීමේ වේදනාව:
කච්චතිව්
කලකදී දෙරටක් අතර මතභේදයකට නිමිති වූ බිමක්, පසු කලෙක ඒ දෙරටේම ජනයාගේ බහුමානයට ලක් වන පුද බිමක් බවට පත් වීම ආශ්චර්යමත් කතන්දරයකි. ශ්‍රී ලංකාවත්-ඉන්දියාවත් අතර පිහිටි ‘කච්චතිව්’ නම් දූපත එවන් අපූරු ඉතිහාසක් නිහඩව දරා සිටී.
කච්චතිව් දූපතට ඇත්තේ ආන්දෝලනාත්මක ඉතිහාසයකි. මෙම දූපතේ අයිතිය සම්බන්ධයෙන් දෙරට අතර දිගුකාලීන මතභේදයක් පැවතිණි. ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ කච්චතිව් දූපත පිහිටා තිබුණත් දුර ප්‍රමාණය අනුව එය වඩාත්ම සමීපව ඇත්තේ ඉන්දියාවටය. ඉන්දියාවට අයත් රාමේෂ්වරන් හා ධනුෂ්කොඩි දූපත්වලටද කච්චතිව් සමීපය. එම නිසා පමණින් වර්ග කිලෝමීටර් 1.15ක් තරම් කුඩා වුවද මේ බිම දේශපාලන වශයෙන් සංවේදී තැනක් විය. කෙසේ වුවද දැන් එය ශ්‍රී ලංකාව සතු භූමියක් ලෙස පිළිගැනෙයි. මතභේදයට හේතු මෙන්ම සහජීවනයෙහි මූල බීජයද මේ දූපතේ අපූරු පිහිටීම හා බැදී තිබිණි.
මෙම දූපත ඉතිහාසයේ පටන්ම දෙරටෙහිම ධීවරයන්ගේ තාවකාලික නැවතුම්පොළක් විය. ඈත මුහුදේ ධීවර කටයුතු කිරීමෙන් අනතුරුව දැල් ආම්පන්න අලුත්වැඩියා කර ගැනීමටත්, ඇතැම් විට දියඹේදී සිදුවන ආපදාවලදී ගොඩබැසිය හැකි ආරක්ෂිත ස්ථානයක් ලෙසත් ඔවුහු එය භාවිත කළෝය.
සංහිදියාවේ පුදබිමවසර 1900දී පමණ, ශාන්ත අන්තෝනි දේවගැතිවරයාගේ නමින් ඉදි වූ දේවස්ථානය, පසු කලෙක මෙම දූපත සංහිදියාවේ පුද බිමක් බවට පත් වීම කෙරෙහි බල පෑ ප්‍රමුඛතම හේතුවයි. ශාන්ත අන්තෝනිතුමා, ධීවර ජනතාවගේ භාරකරු වශයෙන් ගෞරවයට පාත්‍ර වෙයි.
ශාන්ත අන්තෝනී දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය ඉන්දියානු සහ ශ්‍රී ලාංකීක බැතිමතුන් අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සෑම වසරකම පෙබරවාරි හෝ මාර්තු මාසවල පැවැත්වෙයි. දිගු කලක පටන් පැවැත්වෙන මෙම මංගල්‍යය, දෙරට අතර සාමයේ හා සහජීවනයේ සංකේතයක් මෙනි.
කච්චතිව් දූපතේ මෙවර වාර්ෂික දේවමෙහෙය පැවැත්වුණේ දකුණු ඉන්දියාවේ ධීවරයන් පිරිසක් ඉලක්ක කරගෙන සිදු වූයේ යැයි කියන වෙඩි තැබීමක් මුල් කරගත් ප්‍රශ්නකාරී වාතාවරණයක් මධ්‍යයේය. වෙනදා මෙන් මෙවරත් දකුණු ඉන්දියානු ධීවරයින් 5000කට ආසන්න ප්‍රමාණයක් කච්චතිව් දේව මංගල්‍යයට සහභාගී වෙතැයි අපේක්ෂා කළද එකදු දකුණු ඉන්දියානු ධීවරයෙකු හෝ කච්චතිව් නොපැමිණීම සුවිශේෂි තත්ත්වයක් විය. එහෙත් මෙරට ජනතාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මංගල්‍යය පැවැත්විණි. පළමුවරට සමීප අසල්වැසියා නොමැතිව එක් රටක ජනතාව විසින් සැමරූ එම මංගල්‍යය කෙබදු වීද?
දේව මංගල්‍යය දිනයේ කච්චතිව් දූපතේ සංචාරයක යෙදුණු අපි, ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට ඊට සහභාගී වූ බැතිමතුන් සමග කතා කළෙමු.
අසල්වැසියා නොමැතිව..අසල්වාසී ඉන්දීය බැතිමතුන්ගේ නොපැමිණීම සම්බන්ධයෙන් ඔවුන් කියා සිටියේ තම ඉන්දීය හිත මිත්‍රාදීන් නොපැමිණීම පිළිබඳව තමන් දැඩි ලෙස කනගාටුවට පත් වන බවය. වර්ෂයක් පාසා අලුත් වන එවැනි හිතමිතුරු සබදතා ඔවුන් හැම කෙනෙකුටම පාහේ තිබේ.
මර්සි ෆර්නැන්ඩු මාතාව, සිය මුණුබුරන්ගේ දරුවන්ද විවාහ වනු දැකීමට තරම් වාසනාවන්ත වූ මිත්තණියකි. ඇය 2014 වසරේ සිට වසර හතරක පටන් තනිවම ශාන්ත අන්තෝනිතුමාගේ දේව මෙහෙයට පැමිණෙන්නේ මීගමුවේ සිටය.
”මම ආව හැම සැරේකම ඉන්දියාවෙනුත් හුඟාක් අය ආවා. මේ සැරේ ඒ ගොල්ලෝ ඇවිත් නැහැ. ඒ ඇයි කියලා කියන්න තේරෙන්නෙ නැහැ. කොහොම වුණත් එයාලා හිතින් දුක් වෙනවා ඇති දේව මෙහෙයට සම්බන්ධ වෙන්න බැරි වුණ එක ගැන. ඒ ගොල්ලො ඇවිත් ශාන්ත අන්තෝනිතුමාට නොයෙක් විදියේ බාරහාර වෙනවා. ඒව ඊළග වතාවෙ ඔප්පු කරන්න ඕන. මේ සැරේ ඒ අවස්ථාව ඒගොල්ලන්ට නැතිව ගියා.”
ඉන්දීය ජනයා සමග ගොඩනැගුණු සබදතා ගැන ඇය කතා කළේ සතුටිනි.
”මට හොඳට දෙමළ කතා කරන්නත් පුළුවන්. ඉන්දියන් දෙමළ අය මගෙන් අහනවා ‘ඔයා දෙමළද’ කියලා. ‘සිංහල’ කිව්වම ඒ අයට හරි පුදුමයි, සතුටුයි. මේ සැරේ එද්දි මට දරුවො කිව්වා මෙහෙ කරදර තියෙනවා. ඒ නිසා යන්න එපා කියලා. ඒත් මම හිතුවා මොන ප්‍රශ්නෙ තිබුණත් මම එනවා කියලා.”
බස්නාහිර පළාතේ වැලිවේරිය ප්‍රදේශයෙන් 200ක පමණ බැතිමතුන් පිරිසක්ද මෙවර කච්චතිව් මංගල්‍යට සහභාගී වී සිටියහ. ඔවුන් පැමිණි ගමන දුෂ්කර එකකි. ඒ අතරින් කෙනෙකු වන සිල්වෙස්ටර් ටිරෝන් (38) ඒ ගැන අප සමග මෙසේ පැවසුවේය.
”අපි පළවෙනි වතාවට තමයි කච්චතිව් ආවේ. කෝච්චියෙන් යාපනයට ඇවිල්ලා කට්ටුවාන්වලින් බෝට්ටුවට නගින්න පැය ගාණක් පෝලිමේ හිටියා. උදේ 10ට බෝට්ටුවට නැඟලා මෙහෙට එද්දි හවස හයයි. බෝට් එක අදින්නෙ නැහැ. හවස හතරට විතර නේවි එකෙන් ඇවිත් බෝට්ටුව ඇඳගෙන ආවේ. අපේ අයට බෝට්ටුව ඇතුළේ වමනෙ ගියා. මළපහ වුණා.”
ඉන්දියානු බැතිමතුන් නොපැමිණීම ගැන ඔහුද කම්පා වෙයි.
”මේ සැරේ ඉන්දියන් අය ආවේ නැත්තේ ඇයි කියලා කියන්න දන්නේ නැහැ. රටවල් අතර එකමුතුවක් ඇති වෙනවා නම්, එහෙ අයයි මෙහෙ අයයි එකට එකතු වෙනවා නම් ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ කියලයි හිතෙන්නෙ.”
නිලූජන් ඩෙල්ෆ්ට් දූපතේ පදිංචිකරුවෙකි. එහි සිට කච්චතිව් දූපතට සැතපුම් 20 පමණ දුරක් තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන්ට මංගල්‍යයට පැමිණීමට පහසුකම් සලසා දී තිබිණි. ”මම පහුගිය අවුරුදු හයේම දේව මෙහෙයන්වලට ආවා. පල්ලිය අලුතින් හැදිලා තියෙන එක ගැන සතුටුයි. වෙනදට නම් ඉන්දියාවෙන් හුඟක් අය එනවා. මේ පාර ඒ අය නැහැ. ආවානම් හොදයි” ඔහු පැවසුවේය.
අලුත් දේවස්ථානයමෙවර මංගල්‍යය වෙනදාට වඩා සුවිශේෂ ලෙස සංවිධානය කර තිබුණේ, දූපතෙහි අලුතින් ගොඩනැගූ දේවස්ථානයේ පැවැත්වෙන පළමු මංගල්‍යය වන නිසාය. වාර්ෂික මංගල සහ දේව මෙහෙයන්ට පැමිණෙන අතිවිශාල පිරිසට පහසුකම් සැලසීමට අලුත් පල්ලියක් ගොඩනැගීමේ අවශ්‍යතාව දැඩි කාලයක පටන් පැවතිණි. යාපනය දියෝකීසියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් බර්නාඩ් ඥානප්‍රකාසම් පියතුමාගේ ඉල්ලීමකට මෙම නව පල්ලිය ඉදි කෙරුණේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි. මෙම මංගල්‍යයේ ප්‍රධානම පහසුකම් සලසන්නා වූයේද ශ්‍රී ලංකා නාවික හමුදාවය.
මෙවර කච්චතිව් වාර්ෂික මංගල්‍යය සඳහා ඉන්දීය ධීවර පවුල්වල පිරිමින් 3610ක් ද ස්ත්‍රීන්, 1,118 ක්ද ළමයින් 263ක් ද ආදී වශයෙන් 4991 ක් සහභාගී වන බව දන්වා තිබුණු අතර ඔවුනට අවශ්‍ය ආහාර පාන, සෞඛ්‍ය පහසුකම් ද ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සූදානම් කර තිබුණි. එහෙත් ඒ කිසිවකු පැමිණියේ නැත.
ඉකුත් මස 6 දා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළා යැයි කියන වෙඩි තැබීමකින් තමිල් නාඩුවේ 22 හැවිරිදි ධීවර තරුණයෙකු මිය යෑම ඊට ප්‍රධාන හේතුවක් වී තිබුණු අතර දකුණු ඉන්දියානු ධීවරයන් 109ක් අත් අඩංගුවේ තබා ගැනීම, ඉන්දීය ධීවරයන් සතු ට්‍රෝලර් යාත්‍රා 128ක් වසර දෙකක් තිස්සේ අත්අඩංගුවේ තබා ගැනීම යන කරුණුද මුල් කරගෙන දකුණු ඉන්දියාවේ ධීවර සංගම් මෙම වර්ජනය දියත් කර තිබිණි.
එහෙත් කච්චතිව් වාර්ෂික මංගල්‍යයට සහභාගී වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න වෙඩි තැබීම පිළිබද චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
”’නාවික හමුදාව එම සිදුවීම ප්‍රතික්‍ෂේප කරනවා. අපිට ඉන්දියන් ධීවරයන්ට වෙඩි තබන්නට අවශ්‍යතාවයක් නැහැ. අපි කරන්නෙ එම ධීවරයින් අපේ මුහුදු සීමාවෙදී හසු වුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන යාම පමණයි. නාවික හමුදාපති වන මගේ අවසරයක් නැතිව කිසිම ආකාරයේ වෙඩි තැබීමක් කරන්න බැහැ”
බැතිමතුන් එකට කැලතෙන මංගල්යයක්කෙසේ වුවද උණුසුම් වාතාවරණයක් මැද වුවද ඒ දූපතේ කිසිදු තැනකින් වෛරයේ හෝ ද්වේෂයේ කටහඩක් නොඇසුවෙමු. ලබන වතාවේ දෙරටේම බැතිමතුන් එකට කැලතෙන මංගල්‍යයක් ගැන ලිවීමට හැකි වනු ඇතැයි මට සිතේ.
තලෙයි මන්නාරමේ සිට පැමිණි ජේම්ස් ප්‍රින්ටන්ගේ වචන මට යළි ඇසෙයි
”ශුද්ධ වු අන්තෝනිතුමන් කියන්නෙ හාස්කමක්. සියලු දෙනාගේම දුක් කඳුළු නැති වෙලා හැමෝටම සැපවත් ජීවිතයක් ලැබෙන්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලනවා.”